සුගත් වීරසූරිය
ඇළ දොළ ලියදු මතුපිට පිරුණු සිහිල් ජල තලාවෝ ගම්මානයට අපූරුතම සොඳුරු සිරියක් රැගෙන පැමිණියෝ ය. ඇළෙහිත්, දොළෙහිත් ඒ දිය ප්‍රවාහයන් ගලන්නට පටන්ගෙන තිබුණේ වෙනදාට වඩා ටිකක් වේගවත් ස්වරයකිනි. මාස ගණනක් තිස්සේ ඇදහැළුණු මහ වැහි නැවතී තවමත් වැඩි කාලයක් ගත වී නො තිබීම එම සොඳුරු සර එලෙස ආරක්ෂාකර තිබුණේ ය. එහෙම දිය කඳ ඇදුණු හැම ඇළකමත් දොළකමත් දණ්ඩි පැටවුන් හා තිත්ත පැටවුන් දිය කරණම් ගසමින් පීන පීනා ගියේ හදවත් පුරා පිරී ඉතිරුණු සතුටකිනි. තෙරක් නො පෙනෙන තෙක් ඈතට ඇදී ගිය වෙල් එළිය අද්දරින් මහ ඇළ වැටී තිබිණි. එක් තැනෙකින් වක් වෙමින් ද තවත් තැනෙකින් ඒ වක දිගහැරගනිමින් ද මේ ඇළ මෙදා නම් වතුර පුරවාගෙන හිටියේ නිමක් නැති ආඩම්බර කාර බවකින් ද යුතු ව ය. කුඹුරුවල වැඩ තවමත් අහවර වී නො තිබිණ. පළමුවරට හෑමෙන් හොඳටෝ ම මඩ වී තිබුණු හැම කුඹුරකින් ම එක ම අලු පාටක් මතු ව තිබුණේ ය. එම මඩෙන් නැඟුණු නැවුම් පුසුඹ සැවැත් නුවර පුරාවෙහි ම පැතිරී තිබිණ. කොයි කුඹුරේත් හැමෝ ම එකාවන් ව නොයෙකුත් වැඩවල ය. එක් ලියද්දක එක් ගොවියෙක් නියර රහිමින් හිටියේ ය. තවත් වෙලක තව ගොවියෙක් පෙර දා රූස්ස නියරට මඩ තියමින් හුන්නේ ය. මේ හැම දෙයක් ම අවසන් වූ කුඹුරුවල ගොවීන් ලහි ලහියේ ම ලක ලැහැස්ති වෙමින් හුන්නේ තම කුඹුරේ පැළ වී වපුරන්නට ය.
සැවැත් නුවර ජේතවනාරාමයෙන් සැතපුම් දහයකට හෝ පහළොවකට මෙහා නිවහන ජීවිතය ගත කළ ඔහු ගොවියෙක් නො වී ය. බමුණු ජීවිතයක් ගත කළේ වී නමුත් ඔහු ගොවිතැන් කිරීමට මහත් ඇල්මක් දැක්වූවෙක් වී ය. වෙල් එළියේ ගජරාමයට වැඩ කළ හැම ගොවියෙක් ම මේ බමුණාගේ හොඳ ම මිතුරෙක් වී ය. බමුණු තෙම ඒ හැම මිතුරෙකුට ම හමු වුණු හැම තැනක දී ම සිනාවෙන් කට පුරවාගෙන කතා කළේ ය. ගම් දොරට බට තවත් කිසිවෙකුගේ වත් මුවගෙහි නො වුණු නො තිබුණු සදා සාර සිනාවක උතුරා හැළුණු අවිහිංසක බවක් මෙන්ම අව්‍යාජත්වයකුත් මේ බමුණාගේ ඒ හිනාව තුළ තිබුණේ ය.
“ආයිබෝවන්ඩ, තෙල් මල් අරගෙන උදැහැනැක්කෙම ජේතවනාරාමයට යනව වගේ” තෙරුවන් සරණ ගොස් හුන් බමුණා දෙව්රමට යනු හමු වූ උදයක ඇතැම් ගොවි මිතුරෙක් ඔහුට එහෙම කතා කළේ ය. උදයේ පමණක් නො ව බමුණා හෑම දොහක ම හවසටත් දෙව්රමට ගියේ බුදුන් දකින්නට ය. බුදුන් දැක නිවන් දැක දුක්බර සංසාරයෙන් එතෙර වෙන්න බමුණාට දැඩි කැමැත්තක් තිබුණේ ය.
ජීවිතය ගැන ඔහු සතුටු නො වී ය. එය එක් විටෙක එකකි. තවත් විටෙක තවෙකකි. දුක හෝ සැප ලෙසින් කුමක් ලැබුණ ද ජීවිතය සදාකාලික ව ම එලෙස ලබන්නේ වේදනාවයි. ඔහු ඈත දෙස වූ විශල් කන්දක් දෙස බලා සිටියේ ය. ඒ කන්දෙන් පහළට වැටී තිබුණේ ගුරු පාරකි. ජීවිතයට ලැබෙන හැම වේදනාවක්මත් මේ පුංචි ගුරු පාරෙන් කන්ද නැඟ බහින්නාක් වැනි නො වේ ද? එහැම විඳුමක් ම ඉතා කෙටි ය. තාවකාලික ය. අනිස බව දුක් කඳුළ ඒ හැමෙකක ම හැම දා ම තිබේ. ඔහු සිය සුන්දර බිරිය ද හා ඒ ව ජීවිතය ගත කළ ගෙය හා ගෙමිදුල ද එවැනි ම සුන්දරත්වයකින් පිරී තිබුණේ ය. සුදෝ සුදු වැලි අතුල මිදුලේ හැම අහුමුල්ලක ම එක එක මල් ගස් වවා තිබුණේ ය. එයින් පීදුණු මල් කෙරෙන් නැඟුණු සුවඳ කුමක් දෝ නො වැටුණු වසන්තයක මිහිරියාවක් අරන් ආවේ ය. මේ මල් සුවඳින් නිරාමිස සතුටකට පත් බමුණු තෙම අවර ගිරගෙහි ගිලෙන්නට යන ඉර මඬල දෙස නුවන් යුග යොමා හුන්නේ ය. එය කොතෙක් නම් වෛචිත්‍රයෙන් පිරී ඉතිරී ගිය දසුනෙක් වී ද? එදෙස බලා ගත් වන ම බලා හිටි තුරුණු බමුණු තෙම එහි සොබා සොඳුර පමණක් දැක නිහඬ බවකට පත් නො වී ය. ඔහු සිත බදා ඇද ගත් එම සැඳෑ හිරු මඬල ඔහු ලෝකයෙන් දුර ඈත වූ ගැඹුරු භාවනා කමටහනකට ද රැගෙන ගියේ ය. ඉර මඬල ලොව දකින්නට ආවේ මෙදිනෙහි ම අලුයමෙහි නො වේ ද? එය උදෑසන පායා දහවල පුරාවෙහි ම ලොව එකලු කළේ ය. එහෙත් එය දැන් මිය ඇදෙන්නට පණ අදිමින් සිටී. උදා වූ හිරු මඬල මඳකුදු නො නැවතී අවරට බැස සැඟව යන්නාක් මෙන් ජීවිතයත් ඇදී යන්නේ මරණය දිහාවට ම නො වේ ද? එය යළිත් ජීවිතය දෙසට නම් නිමේෂයක් වුව ද නො පැණේ. තුරුණු බමුණු තෙම නිරාමිස කල්පනා සයුරට වැටී ගත්තේ ය. එලෙස එහි වැටී තව තවත් ඈතින් ඈතට ම පිහිනා ගිය ඔහු තුළ බුදුරජාණන්වහන්සේ කෙරෙහි මහා ශ්‍රද්ධාවක් හටගත්තේ ය. ඔහු නෙතු සඟල එයින් උපන් සතුටු කඳුළින් තෙත් ව ද ගියේ ය. මේ හැම දෙයක් ම මෙසේ සිදු වෙද්දී කාලය ඔහුට හොරා ගැලුවේ ය. එයින් ඉක්බිති ව මාස ගණනාවක් ගත වෙද්දී ගෙදර සිදු වූයේ ඔහු සිතට විශල් ශෝකයක් ගෙන ආ සිදුවීමකි. බමුණාගේ තුරුණු බිරිඳ හදිසියේ ම රෝගී වූ බවක් පෙනෙන්නට තිබිණ. ඈ උදේ පටන් රාත්‍රිය උදා වන තෙක්ම නිදා ගැනීමට පටන් ගත්තා ය. ඇයට වැළඳී තිබුණේ අපූරු ලෙඩකි. ඈ උදේ ආහාරය ගනී. එයින් ඉක්බිති බමරයක් මෙන් ගොර අදිමින් නිදන්නට පටන් ගනී. ආයෙමත් ඇය අවදි වූයේ දහවල් බතට ය. එය ද හොඳටෝ ම සප්පායම් වී ආයෙත් නින්දට යන ඈ අවදි වූවේ රෑ අඳුර එන විට ය. බමුණාට බැමිණියගේ මේ අමුතු ලෙඩේ ලොකු ප්‍රහේලිකාවක් වුණේ ය. නමුදු එය ඔහුට වැටුණේ නම් නැත. ඔහු ලෙඩේ ගැන ඇය ගෙන් ඇහුවේ ය.
“මට ලොකු හිසේ ඇම්මක් තියෙනවා. ප්‍රණීත ආහාර අරගන්න ඕන. ඊට පස්සෙ දහවල් කාලෙ ම මට නිදා ගන්න ඕන. එහෙම යන කොට ඒක ඇරිල යා වි. බෙහෙත් ගන්න කවුරු වත් ගාවට යන්න ඔනැ නෑ.” බැමිණී කීවේ ඇඟට නො දැනී ම ය. ඒ අනුව බමුණා රෑ දාවල් කාලය පුරා ම ඇය කී ඇය ආශා කළ ප්‍රණීත කෑම බීම හොයා වෙහෙසුණේ ය. එහි ලා ගෙදරින් නික්ම ගිය ඔහු රෑට ද ගෙදර ආවේ නැත.
“සොඳුර, කෝ නැඟිටින්න ඉතින්. තව හිසේ ඇම්ම අඩු නැද්ද? මම නුඹ කීව කෑම හොයාගෙන ආව.” එවන් දහවල ගෙදර ආ බමුණා බැමිණියට ආදරයෙන් කතා කළේ ය. ඇත්තට ම බැමිණිය කී කිසි ම ලෙඩක් ඇයට වැළඳී නො තිබිණ. රාත්‍රී කාලයේ ම එක් එක් පුද්ගලයන් සමග දුරාචාරයේ හැසිරුණු ඈ දහවල් කාලයේ ම නිදා ගැන්මට පුරුදු වී සිටියා ය. මේ අපේක්ෂා නො කළ අකරතැබ්බයත් සමග ම බමුණාට දවස් ගණනාවකින් ම ජේතවනාරාමයට යෑමට ද නොහැකි විය. එදින ඔහු ජේතවනාරාමයට ගියේ ය.” පින්වත් බමුණ, හුඟ දවසකින් පසුව ඔබ පැමිණියේ. පහුගිය දවස්වල ගොඩක් වැඩ කටයුතු තිබුණා ද? බුදුරජාණන්වහන්සේ විමසා වදාළ හ.” ස්වාමීනි, භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්ස, මාගේ ප්‍රිය බැමිණියට රෝගයක් වැළඳී තිබුණා. හිසේ තද රුජාවක් ලු. හොඳට කන්න බොන්න පුළුවන්. දවල් කාලෙ ම නිදා ගන්නව. එහෙම වුණත් කිසි ම ඇඟ වැහැරීමක් නම් නෑ. බුදුරජාණන්වහන්සේගේ අනන්තය තෙක් පැතිරුණු නුවණ එකෙණෙහි ම යොමු වූයේ බැමිණිය වෙතට ය. මහා අහසට මහා පොළොවට හෝ මහා සයුරට ද සම කළ නොහැකි උන්වහන්සේගේ නුවණින් සඟවා තැබිය හැකි කිසිවක් මේ මහා විශ්වයේ ම කොතැනක වත් නැත. බැමිණියට වැළඳී තිබෙන රෝගය බුදු නුවණ අභියස අපූරුවට දිග හැරුණේ ය. බමුණාටත් එය පෙනුණා නම් ඔහු විස්මයෙන් ඇලලී යනවාට කිසිදු සැකයක් නැත. “බමුණ, මා පෙරත් මේ රෝගයට බෙහෙත් කියා ඇත්තෙමි” යි බුදුරජාණන්වහන්සේ වදාළ හ. බමුණාගේ ආරාධනා ඇති ව එම අතීත කතාව ද දේශනා කළ හ.
එය බරණැස් නුවර බ්‍රහ්මදත්ත මහ රජතුමා රාජ්‍යය විචාළ කාලයක් වී ය. මහ බෝසතාණන් වහන්සේ එනුවර දිසාපාමොක් ඇදුරිඳු වී පන් සියයක් ශිෂ්‍යයනට ශිල්ප ලබා දෙමින් සිටියේ ය. සියලු ශිෂ්‍යයෝ ශිල්ප ඉගෙන අවසන් කළ හ. විවාහ පත් එක් ශිෂ්‍යයකුගේ බිරියට ලොකු ලෙඩක් වැළඳී තිබුණේ ය. එය ශිෂ්‍යයාට වටහාගත නොහැකි විය. වෙදැදුරන්ට ද නො තේරුණේ ය. අන්තිමේ දී දිසාපාමොක් ඇදුරුවරයා හමු වූ ශිෂ්‍යයයා ඔහු ගෙන් බිරිඳගේ රෝගයට බෙහෙත් ඇසුවේ ය. කාටත් නො තේරුණු රෝගය ඇදුරුවරයා දුටුවේ ය. එයින් පසු ඔහු බිරියට කටුක කසායක් නියම කළේ ය. රළු ඉපලක් රැගෙන තදින් පහර දෙමින් එම කසාය බිරියට පොවන ලෙස ද ඇදුරුවරයා ශිෂ්‍යයාට කීවේ ය. කසාය බොන්න ගිය බිරිඳ හොඳටෝ ම බය වුණා ය. වැඩේ වැරදී තම දුරාචාර සැමියාට හසු වුණේ යැ යි හොඳටෝ ම බිය වුණා ය. පසුව වඩාත් යහපත් කෙනෙක් ද වූවා ය.
එකල දිසාපාමොක් ඇදුරුවරයා නම් මෙකල බුදු වී වදාළ මම් මැයි වදාළ බුදුරජාණන්වහන්සේ මේ කොසිය ජාතක දේශනාව නිමවා වදාරද්දී එයින් විස්මයට පත් බමුණාගේ සසර පිළිබඳ වූ සම්‍යක් කලකිරීම තවත් දැඩි වී ය.