ගුණතිලක මැටියගනේ
අපේ භාෂාවේ ‘ව්‍යභිචාරය’ යන වචනය දිගෑරල ගත්තොත් සමීපතම ලේ ඥාතීන් අතර ඇති වන විවාහ බන්ධන හා අනිසි සබඳතා යන අරුත මතු කැරගත හැකියි. ශීලාචාර සමාජ සංස්ථාවන්හි මේ ඇවත පිටුදැකිය යුතු අභිචාරයක් ලෙසයි සැලකෙන්නේ. පසුකාලීන ව මීට සෞඛ්‍ය විද්‍යානුකූල වත් අභියෝග පැනවෙන්න ගත්තේ එවන් සබඳතා නිසා පිළිසිඳෙන දරුවන් මන්ද මානසික, ඕටිසම් හා මන්දබුද්ධික වැනි තත්ත්වවලින් යුක්ත වන බව ඔප්පු කොට පෙන්වමින්.
අපේ පැරැණි ගැමි සමාජයේ ඇවැස්ස නෑනා මස්සිනා සම්බන්ධය තුරුණු විය කිති කවන අයිතිවාසිකමක් බවටයි පත් වෙලා තිබුණේ. ඔය කොයි කිල්ලෝටෙත් හුණු තැවරිලා තියෙනව වගේ අපේ ඉතිහාස පුරාවෘතවලත් එවැනි ව්‍යභිචාරි සංසිද්ධීන් මුණගැහෙනවා. විජය කුමරුට දා ව කුවේණියට ලැබෙන දරු දෙදෙන, ජීවහත්ථ හා දිසාලා පණකෙන්ද රැකගන්න මිනිස් වාසයෙන් තොර මහ හිමයට පලා ගිහින් අඹු සැමියන් ලෙස ගත කළ සංවාසයෙන් අටගත් පරපුර වැදි ජනතාව ලෙසට හංවඩු වැදුණු බවක් නෙ කියැවෙන්නෙ.
ඒ වගේ සුද්ධෝදන මහරජතුමාගෙ කුල ගෙදරිනුත් කාටත් හොරා එවැනි අභව්‍ය සබඳකමක් මෝරා ඇටුවන් බැහැගෙන තිබුණා. එය අසම්මතයේ හිණිපෙත්තට ම ගිය බැඳීමක්. එනම් සුද්ධෝදන මහරජතුමාගෙ දෙවෙනි පෙළවහේ දරු දෙදෙන අක්කයි මල්ලියි. වයස් මට්ටම්වලිනුත් සිදුහත් කුමරුගෙ පලවලේට කිට්ටුයි. ඇයි ඉපදී දවස් හතෙන් මවු අහිමි වෙච්චි සිදුහත්ට ප්‍රජාපතී ගෞතමිය පෙව්වයි කියන්නෙ ඇගේ කුසින් උපන් නන්ද කුමරු වෙනුවෙන් එරුණු මවු කිරි නෙ. එතකොට ජනපද කල්‍යාණිය ඊට වඩා වසරකින් වත් වැඩුමල් වෙන්ට එපා ය පොතේ හැටියට නම්!
මේ දෙන්නගෙ ම විශේෂ ලක්‍ෂණ නම් අධික ලෙස සරාගී චරිත වීමයි. ජනපද කල්‍යාණිය සැබෑ ලෙස ම පරිපූර්ණ පංච කල්‍යාණියක්. ඊට හරි හරියට ම නන්ද කුමරුත් ආරෝහ පරිණාහ දේහ ලක්‍ෂණයෙන් යුත් කඩවසම් රුවක්. නො වී තියේ ය සමබල රාජ බෝජන වළඳමින් හීල් හෙවනෙ රජ සැප විඳිනකොට!
අක්කයි මල්ලියි වැලි කෙළියේ සිට එකට ම හැදී වැඩුණේ එකෙකා මල් දලු දමා පෙති දෙපෙති වී පූදින නුරාව සමීපස්ථ ව විඳගනිමින්. සහෝදර ප්‍රේමය තහනම් ආල නුරාවක් බවට පෙරළිච්චි.
දඹදිව් තලයේ සරණ බන්ධන චාරිත්‍ර ප්‍රකාර ව විවාහාභිමුඛ වයස වී තිබුණේ සොළොස් විය. ස්ත්‍රී පක්‍ෂයට ඊට හුඟක් ම අඩුවෙන්. ඒත් විශේෂ වශයෙන් ජනපද කල්‍යාණියට 37ක් විතර වෙනකල් ‘ගෙදරට නාකි වෙන්ට’ සිදු වුණේ ඇය තම අත පතා එන රජ සිටු කුමාරවරුන්ගෙ කුමන හෝ අඩුපාඩුවක් ඉස්මතු කොට දක්වා ඒ යෝජනාවට පයින් ගැසීමයි. මහ ඈයින්ට රහස එළිවෙනකොට වැඩේ බොහොම දුර ගිහින්.
“ඇයි මට විතරක් හොඳ නැත්තෙ? බලන්නකො අපේ ශාක්‍ය කෝලිය වංශ දෙකේ ම පටන්ගැන්ම දිහා. එක් කුස උපන් සහෝදර සහෝදරියන් සහේට අරන් නේ ද ව්‍යාප්ත වෙලා තියෙන්නෙ?” නන්ද කුමරුන්ගේ විත්ති වාචක හමුවේ රජ මැතිවරුනුත් නිරුත්තර වුණා. බැරි ම තැන හොර රහසෙ ම මංගල කාරණා තුනකට ම නැකැත් ශුද්ධ කැර ගන්න සිදු වුණා. නන්ද – ජනපද කල්‍යාණි සරණ බන්ධනය, අභිනව මාළිගා ප්‍රවිෂ්ටය හා රාජාභිෂේකය.
මංගල දිනයේ උදෙන් ම බුදු හිමියන් පිණ්ඩපාතය පිණිස රජ ගෙට වඩිනවා. දන් වළඳා අවසන දැඩි බයපාතිත්වයකින් තම ලොකු අයියා වටා දැවටෙන නන්ද කුමරා අතට බුදු පාත්‍රාව පත් කෙරෙනවා. නන්ද කුමරු පාත්‍රයත් වඩන් පසුපසින් ඇදෙනවා.
මේ අනපේක්‍ෂිත සිදුවීම පණිවිඩකරුවෙකු මගින් ජනපද කල්‍යාණිය දැනුවත් කෙරෙනවා. එවෙලෙ ඈ සිටියෙ පෝරුවට නඟින්නට පෙර සුවඳ පැන් ස්නානය කරමින්. ඈ දිය බිඳු බේරෙන කෙටි නානකඩය පිටින් මාවතට දිව එනවා. ‘හිමියනි’ ගිය පයින් ම ආපසු එන්න, හොඳේ… ඈ නන්ද කුමරු අමතා කියනවා. ඒ දසුනින් නන්දගේ සියළඟ ගිනිකණ වැටුණා. ඇගේ තෙතබරිත සිරුරත් මියුරු කටහඬත් සුවඳ සඳුන් කොකුමගර සුගන්ධයත් හෘදයංගම කමටහනක් වුණා.
විහාරයට පැමිණි පසු බුදු හිමියන් නන්ද අමතා ‘කොහොම ද නන්ද මහණ වෙමු ද?’ වශයෙන් කළ යෝජනාවට කටක් ඇර ‘බැහැ’ යි කියන්න පුළුවනෑ! ඒත් ලොව්තුරා බුදුන්ටත් කළ හැකි වූයේ තම මලණ්ඩියගේ ගත පැවිදි කිරීමට පමණයි. ඔහුගේ සිත ජනපද කල්‍යාණිය ළඟ. ඔහුට තව ඉතිරි ව ඇත්තේ ජනපද කල්‍යාණියගේ පහස වෙත ළඟා වීම විතරයි.
මේ භික්‍ෂුව ගොඩගන්න නම් ධර්මානුකූල උප්පරවැට්ටියක් යොදාගත යුතු බවට බුදුන් තීරණය කරන්න ඇති. උන්වහන්සේ නන්ද භික්‍ෂුවත් කැටුව අලුත ගිනි තැබූ නවදැලි හේනක් වෙත ළඟාවෙනවා. පිළිස්සුණු ගස් අතු දෙබලක දින ගණනාවකට කලින් දා ගිය වැඳිරියකගේ සිරුරක්. අජූවයි. පණුවො සිලි සිලි ගා නලියනවා, නන්ද පිළිකුලෙන් සලිත වී යනවා.
බුදු හිමියන් එහි සිට තම ඍද්ධි බලය යොදා පෘතජ්ජන නන්ද භික්‍ෂුවත් රැගෙන තුසිත දෙව්ලොවටත් වඩිනවා. එහි දී මුණගැසෙන 500ක පමණ දෙවඟනන්ගෙ රූ සපුව අතරේ නන්ද භික්‍ෂුව අන්දමන්ද වනවා.
දැන් තමයි යකඩය තලා ගන්න හොඳ ම වෙලාව. “නන්ද මේ දිව්‍යංගනාවන් අහලින් ජනපද කල්‍යාණිය ගෙනැවිත් හිටෙව්වොත් කොහොමට හිටී ද?”
“අනේ ස්වාමීනි, එවිට ඇය අර දා ගිය වැඳිරියට සමානයි.”
“එසේ නම් ඔබ මා කියන විදියට මහණදම් සම්පූර්ණ කළොත් දෙවඟනක් හිමි කර දෙන බවට පොරොන්දුවක් දෙනවා.”
නැවත විහාරයට පැමිණි නන්ද භික්‍ෂුව වෙත විශේෂ අවධානයකින් පසු වූ බුදු පියාණෝ ඔහුට කඩිනම් ශාසන ප්‍රතිපදාවක් බාර කරනවා. පිළිකුල් භාවනාව, අශුභ භාවනාව, අට්ඨික සංඥාව හා විදසුන් භාවනාව ඊට අයත් වෙනවා.
ඒ අනුව නොබෝ දිනකින් ම විදසුන් වඩා රහත් ඵලයට පත් නන්ද භික්‍ෂුව බුදුන් කරා ගොස් “මා පැමිණියේ ඔබ වහන්සේ අර පොරොන්දුවෙන් නිදහස් කරන්න” යැ යි දැනුම් දෙනවා.
සෙසු පෘථග්ජන භික්‍ෂූන් ‘නන්ද, දැන් සිවුරු හැර යන අදහස තාම වලංගු දැ යි විමසනවා. එවිට ‘දැන් තුන් හිතක වත් එවැනි අදමිටු චේතනාවක් නෑ, මා දැන් ප්‍රීතියෙන්’ යැ යි පිළිතුර ලැබෙනවා. එය වටහාගත නුහුණු උන්වහන්සේලා විසින් ඒ පිළිබඳව බුදුන් දැනුවත් කළ කල්හි බුදු අමාමෑණියෝ ‘යථා අගාරං දුච්ඡන්නං – වුට්ඨි සමති විජ්ඣති’ යන ගාථා දෙවග්ගයකින් යුතු ව ‘හොඳින් සෙවිලි නො කළ ගෘහය වැස්සට තෙමේ. එමෙන් දහම් මඟ ප්‍රගුණ නො කළ සිතක් රාගයෙන් තෙමේ.’ එහෙත් මපුතු නන්ද දැන් මනාව සෙවිලි කළ ගෘහයක් වගෙයි. ඔහු සිව්පිළිසිඹියා පත් රහතන්වහන්සේ නමකැ යි නිල වශයෙන් දැනුම් දී වදාරනවා.
ඔව්, ‘බැද්දේගම’ අවසන් ජවනිකාවේ ගරා වැටෙන පැල්පත අගුපිල මත සිට මළහිරු බැස යන අයුරු බලා සිටින පුංචි මැණිකා මෙන් පාළු සුද්ධෝදන මාළිගාවේ තනි වන ජනපද කළ්‍යාණියන් පසුව ගෞතම සසුනේ පැවිදි වී වැඩි කල් නො ගොස් කෙලෙසුන් නසා සසර සැරිය නිමා කරනවා.
(ශාස්ත්‍රපති දෙණිකේ ආනන්ද නායක හිමියන්ගේ ධර්මදේශනයක් ඇසුරිනි)