දේවදූතයෝ

cmadurawala
3 Min Read

කරදර වැල නො කැඩී අප හඹා එන විට, හුස්මක් ගන්නට තරම් වත් ඉස්පාසුවක් නො දී කරදර විසින් අප දිගින් දිගට ම වෙළාගනු ලබන විට අපට සිතෙන්නේ ‘මේ මොන කරුමයක් ද’, ‘මේ මොන අවාසනාවක් ද’ කියා ය.

මතුපිටින් දැනෙන්නේ එවැනි දෙයක් වුවත් ගැඹුරින් සිතන විට දුක් කරදර කම්කටොලු යනු අප සොයා එන ආශිර්වාදයන් ය. සිහි කල්පනාවෙන් සිටින්නේ නම් අප යා යුතු හරි මඟ ගැන සිහිපත් කර දෙන දේවදූතයන් ය.

බුදුදහමෙහි පෙන්වා දෙන අර්ථයෙන් ගත් කල අප වැඩි දෙනකු ජීවත් වනවා යැ යි කියා මේ කරන්නේ පැරණි කර්ම ගෙවා දමන අතර ම අලුතින් කර්ම රැස් කිරීම ය. කරදර යනු ගෙවන්නට වන පැරණි කර්ම විපාකයන් ය. ඒ බැව් සිහි නුවණින් වටහා නො ගෙන ඒ කරදර සමග, ඒ කරදර ගෙනෙන මූලාශ්‍ර සමග ගැටෙන්නට යෑම අලුතින් කර්ම රැස් කිරීම ය. ඒ හරහා තවත් භවයක දී ද අප සොයා එන්නැ යි කරදර ගොන්නකට ආරාධනා කිරීම ය.

එදිනෙදා දිවියේ අප ලබන අත්දැකීම් සමග ඥානවන්ත ව ගනුදෙනු කිරීමට අපි පුහුණු විය යුතු වෙමු. යමක් අප අපහසුතාවට ලක් කරන්නේ නම් අප ඒ හා අසීමිත ව නො ගැටිය යුතු ය. අනක් අතට ආශ්වාදජනක අත්දැකීමක් සමග වුව පමණට වඩා ඇලෙන්නට නො යා යුතු ය. මේ දෙකෙන් ම වන්නේ සංසාරය දිගු කරගැනීම ය. සංසාරයේ ස්වභාවය වන්නේ අනිත්‍ය, දුක්ඛ, හා අනාත්ම බවයි. එවැනි අස්ථිර, පීඩාකාරී, නිස්සාර ස්වභාවයක් සහිත සංසාර ගමනක් තවත් දිගු කරගැනීමට කෙනෙකු වැඩ සලසා ගන්නවා නම් ඒ නුවණ මඳකම නිසා ම ය. මුළාව නිසා ම ය. සිහි නුවණින් ලොව දකින්නට අසමත්කම නිසා ම ය.

එදිනෙදා හමු වන හැම දෙයක් සමග ම මුළා නො වී සිහි නුවණින් ගනුදෙනු කිරීම කියන තරම් පහසු නැති බව ඇත්තකි. එහෙත් මේ සසර නමැති මහා කරදරයෙන් සදහට ම බේරෙන්නට නම් අන් ක්‍රමයක් නැත. සිහිය, සතිය ප්‍රගුණ කර ප්‍රඥාව අවදි කරන්නට ම සිදු වෙයි. ඒ සඳහා වීර්යය වැඩිය යුතු වෙයි. සසරෙහි ආදිනව සිහිපත් කරන දම් දෙසුම්වලට නිතර සවන් දිය යුතු වෙයි. කලණ මිතුරන් සමග මේ පිළිබඳ සාධනීය අදහස් හුවමාරු කරගත යුතු වෙයි. තවත් ප්‍රගුණ කළ යුතු කුසලතා ගණනාවක් බුදු දහමෙහි අපට පෙන්වා දී ඇත.

මේ වෙසක් සමයේ සිහිනුවණින් බලා සිටිනවා නම් බුදුරුව පසුබිමින් අලංකාර රටා මවන වෛවර්ණ විදුලි තොරණකින් වුව සසර ස්වභාවය ගැන ගැඹුරු අදහසක් ලබාගත හැකි ය. එහි ලා අප ආකර්ෂණය වන්නේ විදුලි බුබුළු මගින් මවන මල් පෙති වැනි විවිධ රටාවන් වෙත ය. එහෙත් එහි ඇත්තට ම සිදු වන්නේ විදුලි බුබුළු එකින් එක නිවෙමින් දැල්වීම නම් වන ක්‍රියාවලියකි. ඒ එක් එක් විදුලි බුබුළක් වෙන වෙන ම දැල්වීම හා නිවීම ගැන අවධානය යොමු කරන විට එහි කිසිදු විශේෂත්වයක් අපට දැනෙන්නේ නැත.

වෙසක් පහන් කූඩුවක් දෙස බැලුවත්, දැල්වෙන පහන් තිරයක් දෙස බැලුවත්, බුදු පුදට මලසුන් සරසන මල් සමූහයක් දෙස බැලුවත් ඒ හැම එකකින් ම අපට ලබාගත හැකි ගැඹුරු පණිවිඩයක් තිබේ. අප අවදියෙන් නම්, ජීවිතයේ අරුත වටහා දෙන්නට දේවදූතයන් හැම තැන ම ය!

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *