කල්ප ලොකුවිතාන
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයේ එක් භික්ෂු කෙනකු අරබයා මේ ජාතක කතාව වදාළ සේක.
ජේතවනාරාමයේ වසන එක් භික්ෂුවක් දේවදත්ත ස්ථවිරයන්ට හිතවත් පාක්ෂික භික්ෂුවක සමග එක්ව වාසය කළේය. තවත් එක් භික්ෂුවක් ඔහුට වැඩ කැමතිව ඔහු කැඳවාගෙන සර්වඥයන් වහන්සේ ළඟට ගොස් එපුවත් උන්වහන්සේට දන්වා සිටියේය. බුදුහිමි “මේ කියන දේ සැබෑ දැ”යි ඇසූ කල “එසේය ස්වාමීනි, මම දෙව්දත් ස්ථවිරයන්ගේ පාක්ෂික නමක් ඇසුරු කරමි”යි පිළිතුරු දුනි. “මහණෙනි, පෙරත් මේ මහණ එසේ නුසුදුස්සන් ආශ්‍රය කොට අවසානයේ විනාශ වී ය”යි වදාළ බුදුන් වහන්සේ භික්ෂූන්ගේ ඇරයුමින් අතීත කතාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනකු රජකම් කරන සමයෙහි එක් වනයක සිංහ යුවළක් වාසය කළහ. ඔවුන්ට පුතෙක් හා දුවක් වූහ. මනෝජ නම් සිංහ පෝතකයා වැඩිවිය පැමිණි කල සිංහ ධේනුවක් බිරිඳ කොට ගත්තේය. මනෝජ සිංහයා දෙමාපියන්ට, නැගණියටත් තමාට හා බිරිඳටත් ගොදුරු සොයා ගෙනැවිත් රක්ෂා කළේය. දිනක් මනෝජ සිංහයා ගොදුරු සොයා යන කල ගිරි නම් සිවලෙක් හමුවිය. සිවලා සිංහයාට මහත් ගෞරව සැලකිලි හා යටහත් පහත්කම් දක්වා “මම ඔබවහන්සේට සේවය කරන්නට රිසියෙමි” යි කීය. සිංහයා “යහපතැයි” කියා ඌ තම ලෙනට කැඳවාගෙන ගොස් තමන්ගේ අයට දක්වාලීය. ඒ දුටු පිය සිංහයා “පුත්‍රය, මේ නීච සිවලා කෑමකට මෙහි කැටුව ආවෙහි ද? මූ සමග කරන ඇසුරෙන් නුඹට සිදුවන්නේ අවැඩක්ම ය. මූ වහාම එළවා දමන්න”යි උපදෙස් දුනි. මනෝජ සිංහයා පියාණන්ගේ නුවණැති වැඩදායක බස් නොඅසා ඇති පදම් නොයෙක් මස් දී සිවලා හොඳින් පෝෂණය කළේය. දිනක් සිවලා මනෝජයන්ට ළංවී මෙසේ කීය. “සිංහ රාජයාණෙනි, ඔබගේ සුවච අතවැසි මම ඔබ ගෙනා නොයෙක් මස් කා පුරුදු ඇත්තෙමි. එහෙත් කිසිදාක අශ්ව මස් කා නැත. මට අසෙකු මරා ගෙනැවිත් ඔබේ හිතවත් ගැත්තාගේ ආශාව සපුරනු මැනවි.”
“ඒ දේ මට ලොකු වැඩක් නොවේ. මම නුඹට එය ඉටුකර දෙමි. ඒත් කැලයේ අශ්වයන් නැත. උන් සිටින්නේ කොහිදැ”යි මනෝජ සිංහයා ඇසීය. “ස්වාමීනි, බරණැස් රජුට අශ්වයන් බොහෝ ඇත. උන් නාවන්නට හැමදාම ගඟට ගෙනෙයි. ඉන් එකෙකු අල්ලා ගැනීම ඔබට සුළු දෙයකැ”යි සිවලා වහාම උත්තර දුන්නේය. සිංහයා අස්ගොව්වන් අසුන් නාවන වේලේ තොටුපළට කඩාපැන අශ්වයකු අල්වා බෙල්ල කඩා ඌ ඩැහැගෙන ගල්ලෙනට ගියේය. එදින පවුලේ හැමටත් සිවලාටත් ඇති තරම් අශ්ව මස් ලැබුණි.
ආහාර ගැනීමෙන් පසු තම පුත්‍රයා ඇමතූ මහලු සිංහ රජු, “පුත්‍රය මනෝජයෙනි, මේ මස් කෑ සිංහයන්ගේ ආයුෂ ඉතා කෙටි විය. අශ්වයන් යනු රජුගේ වාහනයයි. තම වාහනයට උවදුරු සිදුවන විට රජහු උපද්‍රවය තුරන් කරති. මෙතැන් පටන් අශ්ව මාංසයට ඇති අසාව අත්හරිනු”යි අවවාද දුන්නේය. මනෝජ සිංහයා පියාණන්ගේ ඔවදන නොඅසා ගිරි නම් සිවලාගේ මෙහෙයවීම මත දිගටම රජුගේ අශ්වයන් මැරීම සිදු කළේය. මේ ඇසූ රජතුමා වාසල් භූමියේම පොකුණක් තනවා, එහි අසුන් නාවන සේ අස්ගොව්වන්ට කීය. අනතුරුව දුනුවායන් කැඳවූ ඔහු වෙනදා පුරුද්දට අශ්වයන් මැරීමට එහි එන සිංහයා කෙසේ හෝ නසා දමනු” යි අණ කළේය.
අස්ගොව්වන් පොකුණේ අසුන් නාවන අතරේ හාත්පසින් දුනු හී ගත් දුනුවායෝ සිංහයා එනතෙක් රැකගෙන උන්හ. සිංහයා පවුර පැන පොකුණ අසලට එනු දුටු ඔවුහු ඌ අසකු ඩැහැගෙන අමාරුවෙන් යන විට වඩාත් නිවැරදිව විද්ද හැකි යැයි කියා, ඉවසා බලා සිටියෝය. මනෝජ සිංහයා අශ්වයකු ඩැහැගෙන රැගෙන යන විටම දුනුවායෝ ඌට හතරවටින්ම විද්දෝය. ඊ පහර ලද සිංහයා මරණ බියෙන් බියපත්ව කෑගසා අශ්වයා අතහැර දමා මරු විකල්ලෙන් මහත් පිමි පැන තම ලෙනට ගොස් ඇදවැටුණි. සිංහයාගේ මරහඬත් දුනුවායන්ගේ සතුටු හඬත් ඇසූ සිවලා “මගේ යාළු සිංහයා කම්මුතු විය. ඒ නිසා මටත් උදර පෝෂණයට තැබූ පහසු මාර්ගය නැති විය. කෙසේ වුව සිංහයා වුණත් මියගිය පසු කවර ඵලයක් ද? මම වහාම මේ ප්‍රදේශය අතහැර යමි” යි කියා වහාම එසේ කළේය.
මනෝජ සිංහයා දුක්ඛිතව ගල්ලෙනෙහි වැටී මියගියේය. ඔහුගේ පියා, මව, සොයුරිය සහ බිරිඳ දේහය වටා සිටගෙන දුක් වූහ. “මගේ මේ පුත්‍රයා අසත්පුරුෂයන් ඇසුරු නොකරන්නැයි මා කී දේ නොඅසා නොකල් හි මරුමුව වැටුණි” යැයි සිංහ පියා කීය. “වැදූ දරුවන් වුව නොකීකරු වී නම් මැණියන්ගේ ඇල්මක් නැත. මගේ අකීකරු පුත්‍රයා නීච අසත්පුරුෂයාගේ බස් අසා දැන් මෙහි ලේ වගුරුවාගෙන නොවී” යැයි සිංහ මව කීවාය.
“පියාණන් හා මෑණියන් දැන් කීවා සේ යමෙක් නීච පවිටන්ගේ බස් අසා උන් කීවා සේ කළ මගේ මේ සොයුරා මෙසේ දරුණු මරණයකට ගොදුරු වීය” යි සිංහ සොයුරිය කීවාය. “උත්තම වංශයට අයත් මගේ ස්වාමිපුරුෂයා නීච වංශයට අයත් අධමයකු හා එක්වීම නිසා මෙවන් විනාශයකට පත් වීය”යි සිංහයාගේ බිරිඳ කීවාය.
බුදුරජාණන් වහන්සේ, “ මහණෙනි, නීචයා නීචයන්ම ඇසුරු කරයි. උත්තමයා උත්තමයන්ම ඇසුරු කරයි. නීචයා සහ උත්තමයාගේ විශ්වාසවන්තකම් ද, උත්තමයා සහ නීචයාගේ විශ්වාසවන්තකම් ද, මනෝජ සිංහයාගේ සහ ගිරි සිවලාගේ ඇසුර වැනි” යැයි වදාරා, “එසමයෙහි මනෝජ සිංහයා නම් මේ භික්ෂුව ය. ඔහු නොමඟ යැවූ ගිරි සිවලා නම් දේවදත්ත ස්ථවිර ය. සිංහයාගේ බිරිඳ ඛේමා නම් ස්ථවිරිය ය. සොයුරිය යසෝධරා ස්ථවිරිය ය. මනෝජ සිංහයාගේ පියා වූ නුවණැති මහලු සිංහයා නම් දැන් බුද්ධත්වයට පත්ව සිටින මම්ම වෙමි”යි අතීත කතාව සහ වර්තමාන කතාව ගළපා දැක්වූ සේක.
උපදේශය- නීච අධමයන් හා පවත්වන ඇසුරෙන් කවදා හෝ විපතක්ම සිදුවේ.

