මෙත්තානිශංස

rashi
By rashi
3 Min Read

අප සාමාන්‍යයෙන් කැමැති වන්නේ යහපත් මිනිසුන්ට ය. බොහෝ අය අයහපත් මිනිසුන් හැකිතාක් මඟහැරීමට වගබලා ගනිති. යම් හෙයකින් ඔවුන් අහම්බයකින් හෝ ඇස ගැටුණු විටක සිත, කය, වචනය යන තුන් දොරින් අවම වශයෙන් එකකින් හෝ ඔවුන් හා ගැටීම වළක්වාගැනීමට බොහෝ අය අසමත් ය. ඒ එසේ වෙතත් මෛත්‍රිය පැතිරවීමේ දී යහපත් අය පමණක් තෝරාගැනීමට අපි නො පෙලඹිය යුතු වෙමු. මෙය තරමක් ගැඹුරින් විමසිය යුතු කාරණයකි.

මෛත්‍රිය පැතිරවීම යනු සිතිවිලිවලට සීමා වූ භාවනාවක් පමණක් නො වේ. සැබෑ මෛත්‍රියේ දී වචනයෙන් ද, ක්‍රියාවෙන් ද අයහපත් මිනිසුන්ට පවා අපි යහපතක් ම කළ යුතු වන්නෙමු. තමනට අයහපතක් සිදු කරන අයට මෛත්‍රී සහගත ව සැලකීමෙන් ආශ්චර්යවත් ප්‍රතිඵල අත් කරගත් අය මෙකල ද සමාජයේ සිටිති. දැඩි මානසික විකෘතියක පසු වන්නකු නම් හැර අන් ඕනෑ ම අයකු මෛත්‍රිය හමුවේ යම් දමනයකට, සමනයකට පත් වීම අපේක්ෂා කළ හැකි තත්ත්වයකි. ඔබට රළු ලෙස සලකන අයකුට ඔබ දිගින් දිගට ම මෘදු ලෙස ප්‍රතිචාර දක්වන්නේ නම්, යහපතක් ම සිදු කරන්නේ නම්, එම රළු බවෙහි තීව්‍රතාව කාලයත් සමග අඩු වී යනු ඔබට නිරික්ෂණය කළ හැකි ය. එහෙත් ඒ ප්‍රතිඵලය අත් කරගැනීමට නම් ඔබේ මෘදු ප්‍රතිචාරය රඟපෑමක් නො විය යුතු ය. එය අවබෝධයෙන් සිදු වන අව්‍යාජ එකක් විය යුතු ය.

එහෙත් බොහෝ අය මේ අයුරින් මෘදු ප්‍රතිචාර දැක්වීමකට යොමු නො වන්නේ එයින් තමනට පාඩුවක් වන බව විශ්වාස කරමිනි. සමහර අයට එසේ කිරීම තමන්ගේ ප්‍රතිරූපයට මදිකමකි. මෘදු වීම යනු තව තවත් තමන් පෙළීම පිණිස අනෙකාට අවස්ථාව උදා කර දීම බව තවෙකෙක් සිතති.

තමනට අයහපතක් කරන අය කෙරෙහි මෛත්‍රීසහගත ව ප්‍රතිචාර දැක්වීම මුල දී ආයාසකර ව්‍යායාමයක් වන බව සැබෑ ය. එය කාලයක් තිස්සේ ආයාසයෙන් හෝ ප්‍රගුණ කළ හැකි නම් අන්‍යයන්ට ද තමන්ට ද ඉන් සිදු වන්නේ වැඩක් මිස අවැඩක් නො වේ. බුදුදහම අපට ඒ බව පසක් කර දෙයි.

අව්‍යාජ මෛත්‍රියක් පැතිරවීම දක්වා අපේ සිතිවිලි හා ක්‍රියාකාරිත්වයන් පරිවර්තනය හා සංවර්ධනය කළ හැක්කේ අඛණ්ඩ හා දැඩි පරිශ්‍රමයකින් අනතුරු ව ය. ඉන් ලැබෙන ප්‍රතිඵල ගැන අචල විශ්වාසයක් තමා තුළ නොමැති නම් එය කළ නොහැකි ය.

මෛත්‍රිය වැඩීමේ දී ඉන් තමන්ට අත් වන ප්‍රතිලාභ ගැන බුදුදහමෙහි පැහැදිලි ව සිහිපත් කර දෙයි. සුව සේ නිඳීම, සුව සේ අවදි වීම, මනුෂ්‍යයන්ට පමණක් නො ව අමනුෂ්‍යයන්ට ද ප්‍රිය වීම යනාදි වශයෙන් දැක්වෙන මෛත්‍රියෙහි ප්‍රතිලාභ එකින් එක විමසා බලන්න. සතුරන් සහ ගැටීම් නැති විට මේ ආකාරයේ සුව පහසු ආශිර්වාදාත්මක දිවියක් ගත කිරීමට හැකි වීම පුදුමයක් නො වේ.

මෙයින් අප ගත යුතු පණිවිඩය වන්නේ මෛත්‍රිය පතුරුවන්නේ අන්‍යයන් ඉලක්ක කරගෙන වුවත් එහි අවසාන ප්‍රතිලාභය තමනට ම බව ය. විෂ සහිත යැ යි හැඟෙන අය පවා තමන්ගේ ගමනට ආශිර්වාදයක් කරගත හැකි වන්නේ ඒ බව වටහාගෙන නුවණැති ලෙස කටයුතු කිරීමෙනි.     

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *