සව්සත සුවපත් වෙත්වා!

cmadurawala
3 Min Read

හතර වටින් ආපදා බහුල වී ඇත. සුළං කෝඩ, අකුණු, හෙණ, විදුලිය බිඳවැටීම්, නායයෑම්, ගංවතුර, ඝාතන ආදී ව්‍යසන අප හද කරුණාවෙන් පුරවාලයි. මේ පොසොන් සමයයි. එළැඹුණේ පොසොන් පොහොයයි. සම්බුදු දහම මෙරටට හඳුන්වාදුන් උතුම් දවසයි. දුකින්, ශෝකයෙන්, බියෙන් පීඩිත වුවද සැදැහැවත්තු සිල් සමාදන් වෙති. දන්සල් පවත්වති. දම් දෙසුම් අසති. දුගී මගී යාචකාදීන්ට ආහාර පාන, වස්ත්‍ර ලබාදෙති. භික්ෂුන් වහන්සේ වෙත දන්පින් වැට පවත්වති. දහම සොයති. විමසති. ගුණ නුවණ වඩාලති. දුක, සැප, යස, අයස ආදී අටලෝ දහම් ගැන කල්පනා කරති. කර්මය, කර්ම ඵලය ගැන විභාග කරති. මල් පහන් සුවඳ පුදති. බොදු කොඩි, පතාක, තොරණ, සල්පිල් පවත්වති. අලංකාර කරති. මනුලොව දිවිසැරියෙහි ගති සොබාව මෙය වෙයි. බෞද්ධයන් වශයෙන් අප විසින් කළයුත්තේ නිවන අරමුණු කොට අරි අටඟි මඟෙහි පිළිවෙත් සරු දිවියෙහි එළැඹී කටයුතු කිරීමයි. පුරවැසියන් වශයෙන් කළයුතු යුතුකම් වගකීම් ඉටු කිරීමයි. එහිදී ගුණ නුවණ ප්‍රධාන වෙයි. විනය, හික්මීම පදනම වෙයි. දම් සෝ රජ පුත් මිහිඳු මහ රහත් හිමි සිරි ලක දෙවන පෑතිස් රජු හමවූ අවස්ථාවේ බුද්ධි පරීක්ෂණයක් පැවැත්වූයේ ගැඹුරු හේතු සාධක මුල් කොට ගෙනය.

“මහරජ, දඹදිව කාෂාය වස්ත්‍රයෙන් බබළන්නේය. එහි ත්‍රිවිද්‍යාධාරි ඍද්ධි බලධාරි පරසිත් දන්නා මහ රහතන් වහන්සේලා බොහෝ වෙතියි මිහිඳු මාහිමියෝ වදාළහ.

දෙවන පෑතිස් නිරිඳුන් සසුන්හි පැහැදවීමට මිහිඳු මාහිමියන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය ආදර්ශ සම්පන්නය. උන්වහන්සේ දේශනා කිරීමට අරමුණු කළ දහමට රජහු සිත තියුණු ලෙස යොමු කරවනු පිණිස අඹරුක් උවමින් හා නෑ උවමින් පළමු කොට මෙසේ නුවණ විමැසූහ.

“මහරජ, මේ ගසේ නම කුමක්දැයි” ළඟ තිබුණු අඹ ගසක් පෙන්වා මිහිඳු මාහිමියෝ රජුගෙන් ප්‍රශ්න කළහ.

රජතුමා – මෙය අඹ ගසෙකියි පිළිතුරු දුන්නේය.

මිහිඳු මාහිමි – මේ හැර තවත් අඹ ගස් තිබේද?’

රජතුමා – එසේය. ස්වාමිනි බොහෝ අඹ ගස් ඇත.

මිහිඳු මාහිමි – මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් අඹ ගස් තිබේද?

රජතුමා – ස්වාමිනි, බොහෝ ගස් ඇත. එහෙත් ඒ අඹ ගස් නොවේ.

මිහිඳු මාහිමි – මහ රජ, ඒ අඹත් නො අඹත් හැර තවත් ගස් තිබේද?

රජතුමා – ඇයි ස්වාමීනි, මේ අඹ ගස?

මිහිඳු මාහිමි – මහ රජ, ඔබ පණ්ඩිතයෙහි.

මිහිඳු මාහිමි – මහ රජ, තොපට නෑයෝ සිටිත්ද?

රජතුමා – එසේය, ස්වාමිනි බොහෝ නෑයෝ සිටිත්.

මිහිඳු මාහිමි – මහ රජ තොපට නො නෑයෝත් සිටිත්ද?

රජතුමා – එසේය. ස්වාමිනි, බොහෝ නො නෑයෝත් සිටිති.

මිහිඳු මාහිමි – ඒ නෑයෝත් නොනෑයෝත් හැර තවත් අය සිටිත්ද?

රජතුමා – ඇයි ස්වාමිනි මම?

මිහිඳු මාහිමි – මහ රජ ඔබ පණ්ඩිතයෙහි.

අප රට ඇතුළු මුළු ලොවට අවශ්‍යවන්නේ මෙබඳු ගුණ නැණති විනය ගරුක නීති ගරුක ධාර්මික පුරවැසියන්ය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *