විඤ්ඤාණය දියුණු තියුණු වීම

cmadurawala
5 Min Read

සතියේ බල මහිමය The Power of Mindfulness ග්‍රන්ථය ඇසුරෙනි

(නව වැනි කොටස)

ජර්මන් ජාතික පූජ්‍ය ඤාණපොනික නාහිමි

සිංහලානුවාදය: මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනාධිපති සහ ප්‍රධාන කර්මස්ථානාචාර්ය, පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නාහිමි

සතතඅභ්‍යාසය හෙවත් අඛණ්ඩ සතිය තරම් සිතට තිරසර බලවත් බලපෑමක් කරන තවත් දෙයක් නැත. මේ සතතඅභ්‍යාසය අනුව පහළ වන ධෛර්යය ඒ හා සමගම පහළවන චිත්ත වීථියට පමණක් සීමා නොවී ඉදිරි අනාගතයට ද නෙරා යන ගතියක් ඇත. මෙය සිතේ ගැඹුර පිළිබඳ කෙනකුට දැනෙන ප්‍රත්‍යක්ෂයයි.

ආ) අරමුණෙහි සටහන් සහ ආකාර විසද වීම

අඛණ්ඩ සතිය අරමුණක සමස්තය දැකගැනීමෙහිලා ඉතා වැදගත් වේ. අරමුණක මූණත මතුපිට දැක්ම ඉතාමත් ලොකු ආකල්පමය වෙනසක් ඇති කරනවා මෙන්ම ඉන් ඔබ්බට අරමුණේ තවත් සැඟවුණු ලක්ෂණ හා කෘත්‍යයන් ද ඇති බවට කිසිදු සැකයක් නැත. එසේම මූණත දැක්ම මායාකාරී බවකින් ද යුක්ත විය හැක. මේ තත්ත්වයන් යටතේ සතිය දිගට පවත්වන්නාට අරමුණේ අප්‍රකට අනෙකුත් ලක්ෂණ ද විනිවිද දැකගැනීමට අවස්ථාවක් ලැබේ. අරමුණක් ගෙවී යන මොහොතේ මුල් මූණත මුලිච්චිවීමෙන් වන ක්ෂණික බලපෑමේ බලය හීන වන අවස්ථාවේ සතිය තවදුරටත් අඛණ්ඩව නඩත්තු කළ හැකි නම් පමණක් අරමුණේ සමස්තය දැකගැනීමට පුළුල් අවකාශයක් ලැබේ. මෙලෙස මෙවන් සම්පූර්ණ අවබෝධයක් අරමුණ සම්බන්ධයෙන් අවශ්‍ය නම් අඛණ්ඩව සතිය පැවැත්වීමේ අවශ්‍යතාව වටහාගත යුතු වන්නේය.

ඇ) අරමුණ හා අභිමුඛ සම්බන්ධතාව වටහාගැනීම

ලහිපිට කෙරෙන නිරීක්ෂණවලදී සාමාන්‍යයෙන් නොසැලකිලිමත් බව නිසා ඕනෑම අරමුණක ගිලිහී යෑමට ඇති ඉඩකඩ බොහෝය. අප මෙය කල්තියා දැනගෙන නැවතිල්ලේ සතිය පැවැත්වීමෙන් අරමුණ නිරීක්ෂණයට කොටු කරගත යුතුයි. මෙය අරමුණක සමීප සම්බන්ධතාව හෙවත් මුහුණට මුහුණ ලා බැලීම ලෙස දැක්විය හැක. මේ සමීප නිරීක්ෂණය නිසා අරමුණේ හාත්පස අවබෝධය සඳහා අවශ්‍ය වන නිදානය, එහි හටගැනීම, හේතුව, ආසන්න කාරණය සහ හේතුඵල සම්බන්ධතාව මෙන්ම එහි පසුබිම, වාතාවරණය හා එයින් කෙරෙන වර්තමාන බලපෑම ද දැනගැනීමට හැකියාව ලැබේ. ඒවායේ අන්තර් සම්බන්ධතා දැනගැනීමට නම් කෘත්‍රිම ලෙස අරමුණු වෙන් වෙන්ව බැලීමෙන් එය සිදු කළ නොහේ. එහිදී සමස්තය තුළ අරමුණ රඟන භූමිකාව දැකගැනීම සඳහාත් අරමුණ හේතුවක් මෙන්ම හේතු ඵලයක් වශයෙන් සම්බන්ධ වන හැටි දැනගැනීම සඳහාත් අඛණ්ඩ සතිය මහෝපකාරි වේ.

උපද්වාරික – නීයානික ධර්ම

අරමුණක් සම්බන්ධ ඇති සැටිය හෙවත් විදර්ශනා අවබෝධය සඳහා යට දැක්වූ අඛණ්ඩ සතියේ සාධනීය කාරණා තුන අත්‍යවශ්‍යය. මේ අනුව මනස වඩාත් ප්‍රණීත වනවිට සහ ප්‍රතිපක්ෂ බාධක ධර්ම ඉවත් වනවිට අන්තර් සම්බන්ධතා හරහා දේවල්වල ‘ඇති සැටිය’ දැකගැනීමට පසුබිම සකස් වේ. මෙලෙස මේ කරුණු හරහා භාවනා සිතට කෙරෙන ඍජු බලපෑම මෙන්ම එමගින් අනියමින් කෙරෙන බලපෑම ද සුළු කොට තැකිය නොහැක. එනම් සිතේ නොපෙනෙන යට තට්ටුව ප්‍රතිසංවිධානය කිරීම සහ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැඩීම අනුව මතක ශක්තිය හා ප්‍රතිභා ඥාන වර්ධනය කුලුගැන්වේ. විමුක්ති ඥාන වර්ධනය සඳහා මේ ප්‍රතිසංවිධාන භූමිකාව ඉතා වැදගත් වේ. කඳු හෙල්වල ඇති දිය විලක් උඩින් ලබන වැසි දියෙන් මෙන්ම යටින් උනන උල්පත් දියෙන් ද පෝෂණය වන ආකාරය මේ සඳහා උපමාවක් ලෙස පාලි ත්‍රිපිටක ග්‍රන්ථවල දක්වා ඇත. විපස්සනාව වර්ධනය සඳහා මෙලෙස සිතකට යටින් ලැබෙන ගැඹුරු උපද්වාරික ප්‍රභවයක් ද වේ. මෙවන් ගැඹුරු ඤාණ, ස්ථිර වෙනසක් හෙවත් මාර්ග ඤාණයක් තවම සාක්ෂාත් කොට නොගත් පෘථග්ජන කෙනකුට පවා යා දෙන වෙනසක් ඇති කිරීමට තරම් සමත් වේ.

  1. සතතඅභ්‍යාසය හරහා ලබන අඛණ්ඩ සතියට ගොදුරු වන අරමුණු, ස්වකීය සටහන් හා ආකාර වඩාත් ඉස්මතු කොට දැක්වීම හරහා භාවනා සිතට ලොකු වෙනසක් ඇති කරයි. මෙය අභාවිත මනසක නොලැබෙන විශේෂතාවකි. මේ ගැඹුරු අවබෝධය කල් පවතින හැබෑ වෙනසක් සිතේ සටහන් කරයි. මෙවන් භාවිත මනසක් අරමුණ කෙරෙහි තුන් ආකාර බලපෑමක් ඇති කරයි.

අ) අරමුණක මෙතෙක් නොදුටු අවසානය හෙවත් ගෙවී යෑම ඉස්මතු කොට දැක්වීම නිසා එම අරමුණෙහි මෙතෙක් වසං වී තුබූ කොටස් කෙරේ යෝගාවචරයාගේ සිත මෙහෙයවීම වෙනදාට වඩා පහසුවනු ඇත.

ඇ) යම් අරමුණක් හෝ අදහසක් සවිස්තරව, විවිධ ව්‍යංජන අනුව්‍යංජන සහිතව සිතට වැදුණු පසු එය ආසන්න මතකයෙන් ගිලිහී ගියත් එයින් යටි හිතේ ඇතිවන සටහන ලෙහෙසියෙන් ඉවතට නොයයි. ලෙහෙසියෙන් අතුගා දැමිය හැකි නොවේ.

ඈ) එසේම අරමුණක අදාළතාව පිළිබඳ නිවැරදි සම්ප්‍රජානනය නිසා එම අත්දැකීම සිතේ තහවුරුවක් ගන්නා අතර අනෙකුත් සාමාන්‍ය මතක සටහන් සමග කලවම් නොවී පවත’. ප්‍රකට අරමුණු හා සංසිද්ධි හොඳින් සිතේ කාවැදුණහොත් එහි තෙදවත්කමේ විශේෂත්වයක් ඇති වනවාක් මෙන්ම එය යළි සිහි කැඳවීමේ හැකියාව ද අනෙකුත් සාමාන්‍ය මතකයන්ට වඩා වැඩිය. ඒවා තමාගේ ප්‍රබල බව අනුව සිතට ගලා එන අතර අනියම් ලෙස කරන බලපෑම වටහාගැනීම අපහසු නැත. අඛණ්ඩ සතිය ක්‍රමයෙන් විවිධාංගීකරණය වනවිට මේ මගින් කෙනකුගේ පෞරුෂත්වයේ පවා යම් වෙනසක් ඇති කිරීමට ඉඩ සැලසෙනු ඇත.

  1. යථොක්ත දැඩි හෝ වැඩි බලපෑමකින් යුත් අරමුණු නැවත සිහි කැඳවීමට පහසු වන අතර ඒවා වඩා නිවැරදි ලෙස මතකයේ තැන්පත් වේ. මක්නිසාද යත්, ඒවායේ තීව්‍රතාව බලවත් හෙයිනි. නිවැරදි මතකයට හේතු වන්නේ සවිස්තර කිඳා බසිනසුලු මේ නිරීක්ෂණයයි.

මේ ගති නිසා අනෙකුත් අවශේෂ අරමුණු අතර මේවා රජ වේ. පසුබිමට අදාළ සාපේක්ෂකත්වයෙන් හා සම්බන්ධතාවකින් යුක්තව මෙලෙස සතුප්පාදය හෙවත් නැවත සිහි කිරීමට හැකි වීම සඳහා මේ උක්ත කරුණු දෙක වැදගත් වේ. මේ අනුව ‘සතියත්’ ‘සරති’ යන නැවත මතක් කිරීමේ හැකියාවන් අතර සම්බන්ධතාව දැක්විය හැක.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *