මහාචාර්ය පී. ඩී. ප්‍රේමසිරි
බුදු සමයෙහි මිනිසාගේ ආවේගාත්මක ජීවිතයේ පදනම ලෙස සැලකිය හැකි මූලික මානසික ධර්ම හඳුනා ගැනීමට අමතරව එම මූලික මානසික ධර්මවලින් බිහි වන නානාවිධ අකුසල්සහගත චිත්තවේග හඳුනා ගැනීමක් ද දක්නට ලැබේ. මිනිස් ජීවිතය පිළිබඳ විවිධ සිද්ධීන් පැහැදිලි කිරීම සඳහා උපයෝගි කරගන්නා කේන්ද්‍රීය බෞද්ධ සිද්ධාන්තයක් වන පටිච්චසමුප්පාද සිද්ධාන්තය යොදාගෙන මිනිස් සිතෙහි අකුසල්සහගත චිත්තවේග හටගන්නා ආකාරය පිළිබඳ විස්තරයක් ද සූත්‍රවල දක්නට ලැබේ. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ අකුසල්සහගත චිත්තවේග පාලනය කිරීම හා ඒවා හසුරුවා ගැනීම සඳහා යොදාගත හැකි ක්‍රම රාශියක් හඳුන්වා දීම ද සිදු කර තිබීමයි.
මිනිසාගේ චිත්තවේගාත්මක ජීවිතයට සම්බන්ධ ඉතාමත් ගැඹුරින් මුල්බැස ගත් මානසික ධර්ම අනුශය ලෙස සැලකෙන බව ඉහතදී සඳහන් කෙරිණි. මධුපිණ්ඩික සූත්‍රයෙහි ඒවා රාග, පටිඝ, දිට්ඨි, විචිකිච්ඡා, මාන, භවරාග සහ අවිජ්ජා වශයෙන් හඳුන්වා ඇත. මිනිසාගේ ප්‍රඥාව දුබල කරන සිතෙහි උපක්ලේශ ලෙස සඳහන් වන කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච, ථිනමිද්ධ සහ විචිකිච්ඡා යන පඤ්ච නීවරණ ධර්ම ද චිත්තවේග වශයෙන් හෝ චිත්තවේගාත්මක ස්වභාවය තීරණය කරන ධර්ම ද චිත්තවේග වශයෙන් හෝ චිත්තවේගාත්මක ස්වභාවය තීරණය කරන ධර්ම වශයෙන් හෝ සැලකිය හැකිය. අකුසල මූල වශයෙන් නම් කෙරෙන ලෝබ, දෝස, මෝහ යන ධර්ම ද චිත්තවේග ගණයට ඇතුළත් කළ හැකි වේ. බෞද්ධ මනෝවිශ්ලේෂණය මගින් හඳුනාගෙන වර්ග කොට ඇති චිත්තවේග ගණනාවක් ධම්මදායාද නම් මජ්ඣිමනිකාය සූත්‍රයෙහි සඳහන් වේ. එහි දැක්වෙන ඇතැම් අකුසල්සහගත චිත්තවේග කොධ, උපනාහ, මක්ඛ, පලාස, ඉස්සා, මච්ඡරිය, මායා, සාඨෙය්‍ය, ථම්භ, සාරම්භ, මාන, අතිමාන, මද සහ සමාද යන ඒවාය.
අර්හත්වයට නොපැමිණි සෑම පුද්ගලයකු තුළම අකුසල්සහගත චිත්තවේග පැනනැඟීමේ නැඹුරුකම ඇති බව බුදු සමයෙහි පිළිගැනේ. අකුසල්සහගත චිත්තවේග මිනිසාගේ ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය සමග බැඳී ඇත. ප්‍රතීත්‍යසමුප්පාද නියමයට අනුකූලව මිනිස් සිත චිත්තවේගවල ග්‍රහණයට හසු වන ආකාරය මධුපිණ්ඩික සූත්‍රයෙහි මැනවින් පැහැදිලි කෙරේ. ඒ අනුව ඇසත් රූපයත් නිසා ඇස මුල්කොට උපදින විඥානය හටගනී. එහිදී ඉන්ද්‍රිය හා අරමුණ අතර සිදුවන ගැටුම මුල් කොටගෙන වින්දනයක් ද, වින්දනය හේතුවෙන් සංඥා බිහිවීමක් ද, එම සංඥා අපගේ විතර්ක සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදා ගැනීමක් ද සිදු වේ. මෙය සෑම ඉන්ද්‍රියයක්ම මුල්කොට ගෙන සිදුවන්නකි. මේ ක්‍රියාවලියේදී මිනිසා අවදි බවින් සහ සිහිනුවණින් තොරව කටයුතු කිරීමෙහි ප්‍රතිඵලය වන්නේ අකුසල්සහගත චිත්තවේගවලට යටවීමයි. මේ ක්‍රියාවලිය යාන්ත්‍රික ලෙස සිදුවන ආකාරය මහාතණ්හාසංඛය නම් සූත්‍රයෙහි ද පැහැදිලි කොට ඇත.
මිනිසාට පෞද්ගලිකව පීඩා ගෙන දෙන සහ යහපත් සමාජ සම්බන්ධතාවලට අහිතකර වූ ද අකුසල්සහගත චිත්තවේග පාලනය කර ගැනීම සඳහාත් ඒවා තම වසභයට ගෙන හසුරුවා ගැනීම සඳහාත් අගනා මනෝවිද්‍යාත්මක ක්‍රම බුදු සමයෙන් හඳුන්වා දී තිබේ. මේ ක්‍රම සියල්ල බෞද්ධ භාවනාමය ජීවිතයට සම්බන්ධ යැයි කිව හැකිය. බෞද්ධ භාවනා මගින් අකුසල්සහගත චිත්තවේග පිළිබඳ ප්‍රශ්නය සඳහා සොයන්නේ තාවකාලික විසඳුම් නොවේ. ස්ථිරසාර වූ දීර්ඝකාලීන පැවැත්මක් ඇති විසඳුම්ය. බුද්ධ කාලයේ ඇතැම් යෝගීන් විසින් යෝග ක්‍රම මගින් යම්කිසි සමාපත්තියකට සිත පමුණුවා අයහපත් චිත්තවේගවලින් ඇතිවන පීඩාවෙන් මිදීමට උත්සාහ ගන්නා ලදී. එහෙත් බුදුන් වහන්සේ දුටුවේ එය තාවකාලික අත්දැකීමක් ලෙසය. මිනිස් ජීවිතයේ යහපත කුමක් ද යන ගැටලුවට විසඳුම් සෙවීම සඳහා බෝධිසත්ව අවස්ථාවෙහි ආලාරකාලාම වැනි තවුසන් වෙතින් ලබා ගත් අත්දැකීම් පිළිබඳව නොසතුටුව බුදුන් වහන්සේ තවදුරටත් එම සෙවීමෙහි නිරත වීමට සිතුවේ ඒ නිසාය. එම ගැටලුව ස්ථිර ලෙස විසඳාලීමට නම් මිනිස් මනසේ ප්‍රජානනාත්මක තලයෙහි වෙනසක් සිදු කළ යුතු බව බුදුන් වහන්සේගේ මතය විය. එම නිසා බෞද්ධ භාවනා ක්‍රම මගින් සිත තුළ සමාධිය වඩා, උපේක්ෂාවත් සිහියත් මනා ලෙස පිහිටුවා පිරිසිදු කරන ලද සිතකින් යථාර්ථය දැකීමෙන් පමණක් ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීමේ මාර්ගයක් හඳුන්වා දී ඇත.
බුදු සමය අනුව චිත්තවේග සම්බන්ධව අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග දෙකක් වේ. ඉන් එකක් නම් ඒවා ප්‍රකාශ වීමට ඉඩ හැරීමයි. එමගින් චිත්තවේගයකින් කැලඹුණු කෙනකුට යම් තාවකාලික සහනයක් ලැබිය හැකි වුව ද සමාජ ජීවිතයේදී හැමවිටම එසේ කිරීමට අපට අවකාශයක් නැත. එමෙන්ම චිත්තවේග හසුරුවා ගැනීමකින් තොරව ප්‍රකාශ වීමට ඉඩ හැරීම නිසා ඒවා මනසෙහි පුරුදු වශයෙන් වඩාත් ශක්තිමත් වී ඉදිරියේ දී වඩාත් ප්‍රබලව පැනනැඟීමේ ඉඩකඩ ද මෙයින් ඇති වේ. චිත්තවේග පිළිබඳව කටයුතු කරන දෙවැනි ආකාරය නම්, ඒවා යටපත් කොට සඟවා තබා ගැනීමට උත්සාහ දැරීමයි. මෙය ආත්මාවබෝධයෙන් තොර වූ වංචනික මානසික තත්ත්වයකට හේතු විය හැකි අතර යටපත් කරන ලද ප්‍රබල චිත්තවේග නිසා ප්‍රොයිඩියානු මනෝවිද්‍යාවෙන් පෙන්වාදෙන පරිදි විවිධ චර්යා විකෘතීන්ට ද හේතු විය හැකිය. එසේ නම් බෞද්ධ මනෝවිද්‍යාවෙන් අනුමත කෙරෙන ක්‍රියාමාර්ගය කුමක් ද? එනම් තම අධ්‍යාත්මය තුළ වන චිත්තවේගාත්මක ස්වභාවය පිළිබඳ මනා අවබෝධයක් සිහි නුවණින් ඇතිකර ගැනීමයි. බුදුසමයෙහි ඉගැන්වෙන සතිපට්ඨාන භාවනා ක්‍රමයෙහි අරමුණ මෙය බව සැලකිය හැකිය. අයහපත් චිත්තවේග අපගේ මනසට අනවසරයෙන් පැමිණෙන සොරුන් මෙනි. සිහිය ඒ සොරුන් ඇතුළුවීම වළක්වන මුරකරුවකු මෙනි. අප මනසට ගලා එන ප්‍රචණ්ඩ වූ කෙලෙස් සැඬ පහර වළක්වාලිය හැක්කේ සිහියට බව සුත්තනිපාතයෙහි දැක්වෙනුයේ ද එබැවිනි.
චිත්තවේග පිළිබඳව කටයුතු කිරීමේදී අනුගමනය කළ හැකි ඉතාමත් ප්‍රායෝගික ක්‍රියාමාර්ග කීපයක් මජ්ඣිම නිකායෙහි සබ්බාසව සූත්‍රයෙහි සහ විතක්කසණ්ඨාන නම් සූත්‍රයෙහි සඳහන් වේ. සබ්බාසව සූත්‍රයෙහි දැක්වෙන පරිදි නූපන් අකුසල්සහගත චිත්තවේග හට ගන්නේ ද උපන් අකුසල්සහගත චිත්තවේග වර්ධනය වන්නේ ද අයෝනිසොමනසිකාරය නිසාය. එම නිසා යෝනිසොමනසිකාරයෙන් යුතුව කටයුතු කළ යුතු ආකාරය එහි පැහැදිලිව දක්වා ඇත. සමහර අකුසල්සහගත චිත්තවේග ප්‍රබල බවට පත් වන්නේ අප තුළ නිවැරදි දැක්මක් නැතිකමත් ඒ නිසාම මෙනෙහි කළ යුතු දෙය සහ මෙනෙහි නොකළ යුතු දෙය අතර වෙනස නොදැනීමත් හේතු කොට ගෙනය. නිවැරදි ජීවන දර්ශනයක් අකුසල්සහගත චිත්තවේගවල ග්‍රහණයෙන් මිදීමට අවශ්‍ය වන අයුරු මෙයින් පෙන්වා දී ඇත. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් යුතු මිනිසකුට අයහපත් චිත්තවේග ඇති විය නොහැකිය. එහෙත් ජීවිතය පිළිබඳ මිථ්‍යා මතවාද අනුව තම සිතුවිලි මෙහෙයවන්නකුට අකුසල්සහගත චිත්තවේග නිරතුරුව ඇතිවිය හැකිය.
අසංවර වූ ඇස්, කන්, නාසා දී ඉන්ද්‍රිය නිසා ද අයහපත් චිත්තවේග වර්ධනය විය හැකිය. සංවරයෙන් තොර වූ විට අපගේ සිත ඒ වෙත ගලා එන කෙලෙස් ප්‍රවාහයට සම්පූර්ණයෙන්ම විවෘත වෙයි. ඒ නිසා ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වයේ දී සිහි නුවණින් යුතුව සංවරශීලීව කටයුතු කිරීම අවශ්‍ය වෙයි. ඇතැම් ආස්‍රව සංවරයෙන් පහ කළ යුතු යැයි සබ්බාසව සූත්‍රයේ දැක්වෙන්නේ එහෙයිනි.
තුන්වැනුව, ඇතැම් අයහපත් චිත්තවේග වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා කෙනකුට තම මනස කලඹවන තත්ත්වයන්ට පත් කරන ශාරීරික උපද්‍රවයන් ඇති නොවන පරිදි කටයුතු කළ හැකි වේ. භික්ෂු ජීවිතයේ සිව් පසය මෙයට කදිම නිදසුන්ය. ඒවා සිහි නුවණින් යුතුව ප්‍රතිසේවනය කිරීමෙන් අකුසල්සහගත චිත්තවේග මඟහරවාගත හැකිය. මෙහිදී තම මූලික ශාරීරික අවශ්‍යතා නොසලකා හැරීම හේතුවෙන් ඇතිවිය හැකි අනවශ්‍ය මානසික පීඩනය මඟහරවා ගැනීමට බුදුන් වහන්සේ උපදෙස් දෙති. එමෙන්ම තම මූලික අවශ්‍යතාවල සීමාව හඳුනා නොගෙන දැඩි ආශාවන් හා කෑදරකම් වර්ධනය කරගෙන ශාරීරික අවශ්‍යතාවන් සංසිඳවාලිය නොහැකි ලියලා යන වුවමනාවන් බවට පත් කැර ගැනීම නොකළ යුතු බවට මෙහිදී පෙන්වා දී ඇත. මෙසේ පහ කෙරෙන ආස්‍රව හඳුන්වා ඇත්තේ ප්‍රතිසේවනයෙන් පහ කළයුතු ආස්‍රව වශයෙනි.
සිව්වැනුව තම අධ්‍යාත්මය තුළ ඉවසීම පුරුදු කිරීම ද වැදගත් වේ. තමන් ජීවත් වන භෞතික පරිසරයට අයත් සාධක සියල්ල තමන්ට පාලනය කළ නොහැකි වන බැවින් අභ්‍යන්තර වශයෙන් යම් සැකැස්මක් ඇතිකර ගැනීම අවශ්‍ය වෙයි. තමා තුළ මානසික සහනයක් උදාකර ගැනීම සඳහා තමාට අවශ්‍ය පරිදි පරිසරය වෙනස්කර ගැනීමට යත්න දැරීම හැම විට ම සාර්ථක නොවේ. එබැවින් පවත්නා තත්ත්වයන් ඉවසිය හැකි වන පරිදි තම මානසික ශක්තිය වර්ධනය කරගත යුතු වෙයි. මෙසේ පහ කෙරෙන ආස්‍රව අධිවාසනයෙන් පහ කෙරෙන ඒවා ලෙස සැලකේ.
පස්වැනුව සිත් තුළ බිහි වන අකුසල විතර්ක හඳුනාගෙන ඒවා ඉවත් කිරීම ද වැදගත් වේ. මෙහිදී ආත්ම විශ්ලේෂණයක අවශ්‍යතාව අවධාරණය කෙරේ. මුදා හැරීමෙන් පහ කළ යුතු ආස්‍රව (ආසවා විනොදනා පහාතබ්බා) වශයෙන් හඳුන්වා ඇත්තේ එබඳු ඒවාය.

