ශාස්ත්රාචාර්ය්ය බඹරැන්දේ සිරි සීවලී ස්වාමින් වහන්සේ
■ ඔබට පිපුණු මල්වලින් නිරන්තර සිනාව උගත හැකිය.
■ බඹරුන්ගෙන් නිරන්තර ගායනය උගත හැකිය.
■ ගස්වල නැමුණු අතුවලින් අවනතභාවය උගත හැකිය.
■ වායු චලනයෙන් උනන්දුවීම හා උනන්දු කරවීම උගත හැකිය.
■ කිරෙන් හා වතුරෙන් එක්වීම හා එක්කරවීම උගත හැකිය.
■ සූර්ය කිරණයෙන් නැඟිටීම හා නැඟිටුවීම උගත හැකිය.
■ ගස්වලින් හා වැල්වලින් සියල්ලන් සමග අත්වැල් බැඳගන්නා සැටි උගත හැකිය.
■ වැසි බිඳුවලින් සියල්ලන් සමාන ආදරය දක්වන සැටි උගත හැකිය.
■ පතැඟිවලින් සියල්ලන් ප්රභාවිත කරන සැටි උගත හැකිය.
(ගොඩටගත්) මාළුවන්ගෙන් සිය රටේ නිදහස සඳහා හැපී මැරෙන සැටි උගත හැකිය.
■ ශීත කාලයේ (කොළ හැලී පවත්නා) ගස්වලින් දුකෙහිදී ධෛර්යයෙන් යුක්තව සිටින සැටි උගත හැකිය.
■ පහනින් හැකි පමණ දුරට ලෝකයේ අඳුරු දුරුකරන සැටි උගත හැකිය.
■ මහපොළොවෙන් ලෝකවාසීන්ට අපක්ෂපාත ලෙස සේවය කරන සැටි උගත හැකිය.
■ ජල පහරින් ජීවන පථයෙහි ඉදිරිය බලා යන සැටි උගත හැකිය.
■ දුම් දහරින් ටිකින් ටික උසස් වන සැටි උගත හැකිය.
■ සත්පුරුෂයාගේ චරිතයෙන් (ස්වකීය) චරිතය හැඩගසා ගන්නා සැටි උගත හැකිය.
(හින්දි කව් පෙළකිනි)
(1942 පළවූ ළමා හඬ සඟරාවෙනි. සංස්කරණය ඒ. ඩී. ජේ. මාතුපාල)
හොඳ නරක, පින් පව්, කුසල් අකුසල්, කර්මය, කර්ම ඵලය, ආචාරධර්ම, සදාචාරය මේ සෑම කී නොකී කරුණක්ම සත්පුරුෂ භූමියට පැමිණෙන විට අදාළ වන්නේය. සත්පුරුෂයන් බවට පත්වීම ලෙහෙසි පහසු නොවේ. අසත්පුරුෂයන් කල්‍යාණ නොව මිත්‍ර ප්රතිරූපකයන් බහුලව ලොව පුරා සිටින බැවිනි. මත්ද්‍රව්‍ය, සුරාව අපරාධකාරි හැසිරීම්, වංචා දූෂණ ඉහවහා ගොස් ඇති කාලයක මෙරට මතු නොව ලොව පුරා අසත්ධර්මය රජයන යුගයකි. අසාධු ධර්මය, දුර්ජන ගති පැවතුම් අප රටේ ද පොදුජන ජීවිත කලඹවයි. නව යුගයක නව රජයක කටයුතු අරඹා බොහෝ කල් ගෙවී නැත. අවි ආයුධ අතට ගත්තවුන්, වංචකයන්, දූෂකයන්, සමාජ සංස්කෘතික, ආර්ථික, දේශපාලනික සන්දර්භය වනසා දමන්නට කැසකවනු පෙනේ. හිටිවනම මහ වැසි වැටේ. ඉඩෝරය ඊළඟට රට වනසයි. බවබෝග සම්පත් නසයි. අධාර්මිකභාවය නිසා පරිසරය ද දූෂිතය. එබැවින් සන්සුන් දිවිපෙවෙත, පරිසර හිතකාමී අත්ත හිත පරහිතකාමී සහජීවනය අපට අවශ්‍යය. බුදුදහමේ සූත්‍ර ධර්ම අපට මඟ පෙන්වයි. බෞද්ධ අබෞද්ධ කියා වෙනසක් නොගනු මැනවි. යථාවාදී තථාකාරි, තථාවාදී යථාකාරි භගවත් බුදුපියාණෝ සුමග දෙසූහ. අපි එම මාවත මඟහැර මංමළා වූවෝ වෙමුද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් තමන් ද රට ද දිනාගනිමු ද? දහම දෙස බලන්න. දහම අනුව පැවතෙන්න. දහම රකින්න. දහමින් රැකෙන්න.