මුනි සිරි පතුල ගැන වතගොත

rashi
By rashi
7 Min Read

අධිනීතිඥ අහුන්ගල්ලේ අරුණාතිලක

සුර රද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කැර පුද වඳින රැඳි මුනි සිරි පා තඹර
සකි සඳ පෙනේ සමනොළ ගල නැඟෙනහිර

සැළලිහිණි සඳෙසෙහි සඳහන් මෙම සමුදුරු ගොස් විරිතෙන් සැදි සිව් පද කවියෙන් සැලවන්නේ සිරිලක වෙසෙන බෞද්ධ බහුතරයේ පිළිගැනීම සහ විශ්වාසයයි. එය ඈත අතීතයේ පටන් අවිවාදයෙන් පිළිගැනෙන තත්ත්වයකි. බුදුරදුන්ගේ සිරි පා පහසින් සිරිලක තෙවරක්ම පූජනීයත්වයට පත් වූ වගත්, සමන් දෙවියන්ගේ ආරාධනය පරිදි සමනොළ ගිරි සිරසට සැපත් වූ භාග්‍යවතුන් වහන්සේ එම ස්ථානයෙහි වම් සිරි පතුල පිහිටු වූ බවත් සඳහන් වේ. එම හේළි පියසට සක්දෙව් රදුන් සමන් දෙවිඳුන් හා සුරඟනන් පිරිවරා පරසතු මදාරා මලින් පුද කොට වඳින ආකාරය ඉහත කවෙන් මැනවින් සිතුවම් වී ඇත.

එසේ වුවද හින්දු – මුස්ලිම් හා කිතුණු බැතිමතුන් ද සමනොළ කඳු නඟින අතර ඔවුන්ගේ ආගමික විශ්වාසය අනුව ගිරි සිරසෙහි පිහිටි පා සටහනට ගරු සැලකිලි දක්වන බව ප්‍රකටය. “ශිවනොලි පාදම්” යනුවෙන් සඳහන් කෙරෙන ශිව දෙවියාගේ පතුල මේ බව සලකන හින්දු බැතිමත්හු සමනොළ වඳිති. පාරාදීසයෙන් එළවා දමනු ලැබූ පළමු මිනිසා වන ආදම් පොළෝ මත පතිතවත්ම තම පා සටහන සමනොළ ගල මත තැබූ බව මුස්ලිම්වරු විශ්වාස කරති. එම විශ්වාසය අනුව ‘ආදම්’ගේ පාදය කියා ඔවුන් සමනොළ වන්දනීය බවට පත් කරගෙන ඇත. ඒ එසේ වුවත්, මුස්ලිම් ආගම සල පිළිම

රූ සටහන් වන්දනාව විශ්වාස නොකරන බව කිව යුතුය. ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රධාන ගෝලයන් දොළොස්දෙනා අතරෙන් තෝමස් නමැති ගෝලයාගේ පා සටහන ලෙස කිතුණුවෝ සමනොළ වඳිති.

සිරිලක රට මැද මීටර 2243ක් හෙවත් අඩි 7360ක් උසට පිහිටි සුපිරි දේශගුණික පරිසරයෙන් හෙබියා වූ රමණීය වන පෙත්වලින් පිවිතුරු බව රැකගෙන මහවැලි, කැලණි, කළු, වලවේ ගංගා ජලයෙන් සේදී පිවිතුරු වන දිවයින සිව් දෙසට ආසිරි සලසන සමනොළ ගල ගැන ලියැවුණු, කියැවුණු දෑ බොහෝය.

යටත් පිරිසෙයින් ගෞතම බුදු රදුන් පිරිනිවී අවුරුදු පන්සියයක් ගෙවී යන තෙක් කලා කෘතියක වශයෙන් බුදුරුව නිර්මාණය නොවීය. බුදුරදුන් වෙනුවට (1) ධර්ම චක්‍රය. (2) බෝ රුක. (3) හිස් සිහසුන. (4) ඡත්‍රය. (5) සෑය. (6) සිරි පා සටහන මුදුනත තබා වන්දනා මාන කිරීමට ජනයා පුරුදු වූහ.

බුදුරදුන්ගේ සිරි පා සටහන් පිහිටි ස්ථාන පහක් ගැන 1990 නොර්වේ හි ඔස්ලෝ නුවර මුද්‍රිත වූ ‘සේක්‍රඩ් ෆුට් ප්‍රින්ට් (The Sacred Foot Print) නමැති ග්‍රන්ථයෙහි කතුවරයා වන මාර්කස් ඇක්ස්ලන්ඩ් සඳහන් කර ඇත. එම ස්ථාන පහ මේවාය.

‘තායි සම්ප්‍රදාය අනුව ගෝතම බුදුරදුන්ගේ සිරි පා සටහන් පස් තැනෙක සටහන් වී ඇත.

  1. සුවනමලිත් කඳු මුදුන. එල්.බී. බුරිබන්ඩ් නමැති ලේඛකයා 1977 බැංකොක් නුවර පළ කළ ‘ද බුද්ධ’ස් ෆුට් ප්‍රින්ට් ඉන් සරබුරි ප්‍රොවින්ස්’ (The Buddha’s Footprint in Sarabhuri Province) නමැති ග්‍රන්ථයෙහි මේ ගැන විස්තර සඳහන් වන බව කියැවේ. ඒ අනුව සුවනමලික් කන්ද තායිලන්තයේ පිහිටි බව පෙනේ.
  2. සුවණ්ණ පබ්බත හෙවත් සුවණ්ණබන් බොත් කන්ද: තායිලන්තයේ පිහිටි එම ස්ථානය ද සච්චබන්ධගිරි යන අපර නාමයකින් ද හැඳින්වෙයි. තායි සම්ප්‍රදාය අනුව සච්චබන්ධ නම් තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කොටැ වන්දනා මාන කිරීම සඳහා සුදුසු සංකේතයක් පිහිටුවන මෙන් ඉල්ලා සිටියහ. මෙම ආරාධනය ඉවසා වදාළ බුදුරදහු මෙම සිරි පතුල් සටහන පිහිටුවා ලූහ.
  3. සුමනකුට කන්ද – ශ්‍රී ලංකාවෙහි පිහිටි සමනොළ කන්ද වේ.
  4. යෝනකපුර නගරය: යෝනකපුරයෙහි බුදුරදුන්ගේ තුන්වැනි සිරි පතුලක් පිහිටුවා ඇති බවත් එය මුස්ලිම් ජනතාවගේ ගෞරවයට පාත්‍ර වන බවත් ප්‍රකටය. දා පෙති පිළිම වන්දනාව ගැන මුස්ලිම් බැතිමතුන් අතර විශ්වාසයක් නැති බව පෙනේ. එහෙත්, අනාදිමත් කාලයක් තුළ මෙම පාරිභෝගික ගණයට වැටෙන පූජාව නොනැසී පවත්නා කාරණය පුදුමාකාරවේ. ශාරීරික, පාරිභෝගික, උද්දේසික යනුවෙන් තෙවැදෑරුම් වන පූජා වස්තූන් අතරින් (1) ශාරීරික ගණයට වැටෙන පූජා වස්තුන් – දළදා, ලලාට දා, කේස දා, අතු දා ආදී වශයෙන් විවිධ ආකාරය. (2) පාරිභෝගික පාත්‍ර ධාතුව වැනි පරිහරණය කරනු ලැබූ වස්තූන් ඇතුළත් වේ. සිරි පා සටහන වුවද ඉහත කී විභේදනය අනුව අයත් වන්නේ පාරිභෝගික ගණයට වේ. (3) උද්දේසික වශයෙන් සලකනු ලබන නෙළුෑ පිළිම (බුදු පිළිම) යටතේ පාද ලාංඡනය ඇතුළත් නොකළ හැකි නිසාය.
  5. නර්මදා නදී තෙර සිරි පා සටහනක් පිහිටු වූ පස්වන ස්ථානයයි. මෙම ස්ථානය නර්මදානදී තෙර හැටියට සලකතොත් එය භාරත දේශයේ පිහිටි ස්ථානයේ වේ. ඒ එසේ වුවද ඉහත සඳහන් වන සුමනකූට, යෝනකපුර සහ නර්මදානදී යන ස්ථාන තුනම තායි සම්ප්‍රදායට අනුව එරට පිහිටි බව කියැවේ. මේ අනුව තායි වංශ කතාවන්හි පළ වී ඇති ආකාරයට (1620-1628 යුගයේදී) සොන්ධර්ම් රාජ යුගයේදී තායි භික්ෂුන් පිරිසක් සිරිලක පිහිටි සිරිපා වන්දනාවේ මෙහි පැමිණියහ. සිරිපා කරුණා කළ එම භික්ෂුන්ගෙන් ශ්‍රී ලාංකික භික්ෂුහු පහත සඳහන් පරිදි ප්‍රශ්න කළහ. දැනගැනීමට පවත්නා බුදු සිරිපා සටහන් පහෙන් එකක් වන පාද ලාංඡනය සියමේ සුවර්ණබන් – බොක් හි පිහිටුවා ඇත. එසේ නම් තායි ජාතිකයන් එම සිරි පතුල නොවඳින්නේ මන්ද? එය ශ්‍රී ලංකාවට පැමිණීමට වඩා පහසු නොවේ ද? ප්‍රශ්න කළහ. පෙරළා සියරට වන් තායි භික්‍ෂු පිරිස මෙම පුවත ගැන තමන්ගේ නරවරයා වන සොන්ධර්ම් රජු වෙත ඒ බව සැල කළහ. කාලයේ වැලිතලාවට හසු වී වල්ගත වී තිබුණු සිරි පතුල සොයාගැනීමෙහි තත්පර විය යුතු බවට රජතුමා තම විජිතය තුළ නිවේදනයක් නිකුත් කළේය. එම සිරි පා සලකුණ මුලින් සොයාගත හැකි වූයේ වනයෙහි දඩයම් පිණිස හැසිරෙන ‘පුන්’ නමැති දඩයක්කරුවකුට යි. සිරි පා සලකුණ බහුජන හිත සුව පිණිස ඉමහත් හරසරින් උත්සව පවත්වා අවුරුදු පතා වන්දනාමාන කළ යුතු ස්ථානයක් බවට පත් කරවන ලදී. මෙම සිරි පතුල පිහිටි ස්ථානය ‘ප්‍ර – බුධ – බාත්’ නමින් ප්‍රකටය.

තායිලන්තයේ මෙන්ම චීන දේශයේ ද සිරිපා සටහන් ගැන තතු හෙළි වී තිබේ. වූ – තායි – ෂන් නම් චීන කඳු පියස (මහායාන) බෝධිසත්ව වෙන් – ෂූ ගේ වාස භවන වේ. වෙන් – ෂූ යනු මංජුශ්‍රී දෙවියාට චීනයේ භාවිත වන නාමයයි. කඳු ශිඛර පහකින් සමන්විත යන අර්ථය දෙන්නා වූ එම පියසෙහි මැද පිහිටි චුන් – ෆන්හි පිහිටුවා ඇති පරිදි ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ පාඨලීපුත්‍ර නගරයෙහි පිහිටුවන ලද පා සලකුණක් ඇත.

මාකස් ඇක්ස්ලන්ඩ්ගේ ග්‍රන්ථයෙහි සඳහන් නොවන සමහර විට එම ග්‍රන්ථය මුද්‍රණය වූ 1990 වර්ෂයෙන් පසුව සොයා ගනු ලැබූ සවැනි සිරි පා සලකුණක් දකුණු අප්‍රිකා මහා ද්වීපයෙහි තිබෙන පුවත දැනට ට්‍රාන්ස්වාල් ජනපදයෙහි රැකියාවෙහි නියුක්ත මගේ මිත්‍රයෙක් මා සමග කීය. 1963 වර්ෂයේ දී මා සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවකු වශයෙන් සේවයට බැඳුණු කේ. ලක්ෂ්මන් ද සිල්වා නම් වන ඔහු භූගෝල විද්‍යා විෂයෙන් විශේෂ උපාධියක් ලද කෙනෙකි. 1975දී රාජ්‍ය සේවයෙන් ඉවත්ව ටැන්සානියාවට සංක්‍රමණය වූ ඔහුගේ විශේෂ විනෝදාංශය වූයේ අවසරලත් සෑම අවස්ථාවකදීම වනගත ගන වනාන්තරයෙහි මෙතෙක් සැඟවී තිබෙන වන සම්පත්, වන ජීවීන් සහ ඉතිහාසය පුරාවිද්‍යාව වැනි විෂයයනට අදාළ තොරතුරු සෙවීමයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *