උතුම් සාධු ගුණ

rashi
By rashi
4 Min Read

හිරු නැගෙන්නට පෙර අධිමුත්ත ගඟට බැස නෑවේය. සිරුර සමග සියලු පවු ද සේදිණ. හැම උදෑසනක ම ඔහු මෙසේ නෑවේ පවු සේදීමට ය. පවු සේදීමට නියමිත දින කීපයක් වුවද අධිමුත්ත දිනපතා ඒ සඳහා ගියේය.

“ඔබට සේදීමට බොහෝ පවු ඇති” කුඩා ළමයෙක් දිනක් අධිමුත්තගෙන් ඇසුවේය.

එය ඔහුට මහා ප්‍රශ්නයක් විය.

මා කොපමණ පවු සිදු කැරැ තිබේ ද? දිනපතා සේදීමෙන් කොපමණ පවු සේදී ගියේ ද? තවත් කොපමණ පවු සේදිය යුතු ද? ඔහු ඔහුගෙන් ම ඇසුවේ ය.

සැවැත්නුවර ප්‍රකට බමුණු පවුලක උපන් අධිමුත්ත වේදය ගැඹුරින් හැදෑරුවේ ය. යාග හෝම පැවැත්වීමේ ප්‍රමුඛයෙක් වූයේ ය. එළුවෝ දස දහස් ගණනක් ඔහු ගේ ඇස් ඉදිරියේ ගිනි දෙවියන්ට බිලි වූහ.

පසු කලෙක අධිමුත්ත ගේ සිත මේ ආගමික කටයුතු පිළිබඳ කලකිරිණ.

මේ සියල්ල නිසරුයි. මිනිසුන්ට යහපත සැලසීමට තිරිසන් සතුන් දිවි පිදිය යුතු ද? මෙහි ඇති යුක්තිය කුමක්ද? ලේ පිළිගන්නා දෙවියකුගේ ශීලාචාරකම කුමක්ද? නෑමෙන් පසු පවු සේදිය හැකිද?

ඔහු සිය ආගම පිළිබඳව ප්‍රශ්න කළේය.

“ඔබ වැනි වේදය පිළිබඳ මහ පඬිවරයෙක් ආගම සැක කිරීම මහ විපතක්.”

ඔහුට මහ බමුණෝ අවවාද කළහ. එහෙත් ඔහු යළි යාග බිමට නොගියේ ය. පවු නොසේදුවේය.

නිවසට වී තමා උගත් වේදයේ අඩුලුහුඬුකම් දකිමින්, මිනිසා අවිiාවේ ගිලී ඇති සැටි මෙනෙහි කරමින් සිටියේ ය.

ඔහුට මහ සක් හඬක් ඇසිණ.

“ඒ කුමක්ද?” ඔහු මෙහෙකරුවකුගෙන් ඇසීය.

“ස්වාමීනි, සුදත්ත සිටුතුමා අද බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමය පූජා කරනවා. ඔය සක් හඬ ඇසෙන්නේ එතැනින්…”

“බුදුරජාණන් වහන්සේ” යන හඬ කනට එත්ම අධිමුත්ත ගේ සිත පිබිදිණ.

මා කවදාවත් නුදුටු කෙනෙක් ඒ. කවදාවත් එතුමා ගැන මා අසා නැහැ. නමුත් මගේ සිතට, ඒ නම ඇසීමත් සමග මහ අමුත්තක් දැනෙනවා. මාත් ජේතවනාරාමයට යනවා.

ඔහු තීරණය කළේය.

අධිමුත්ත මගට බසිනා විට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් පිරිවරාගෙන සුදත්ත සිටුවරයා ගේ මැඳුර දෙසට වැඩම කරමින් සිටියහ.

මග අයිනේ සිටි අධිමුත්තට බුදුරජාණන් වහන්සේ ගේ කරුණාවෙන් පිරුණු නිවුණු සැනසුණු දෑස පෙනිණි. ඔහු නොදැනුවත්ම ඔහු ගේ නළල ද සමග දෙදණ පොළොව සිපගනී.

සාදු! සාදු! සාදු!

ඔබ වහන්සේ දුටු පමණින් ම මගේ සිතට නිවීමක් ඇති විය. බමුණු දහමේ හරයක් නොදැක මුළු ලොවම එපාවී සිටි මම දැන් මහත් බලාපොරොත්තුවලින් පිරී සිටිමි. ඔබ වහන්සේ ගේ බණ පදයක් කනට එනතුරු මම නොඉවසිල්ලෙන් සිටිමි.

ඔහු නැඟී සිටියේය. උන්වහන්සේ පසුපසින් සුදත්ත සිටුමැඳුර අසලට ගියේය. දන් වළඳා අවසන බුදුරජාණන් වහන්සේ දහම් දෙසූහ. අධිමුත්ත ගේ සිත දහමේ බැඳිණ. අඳුරේ ගමන් කළ අයකු හිරුට ළං වූ සේ හැඟිණ.

“ස්වාමීනි, ජේතවනාරාමය ඔබවහන්සේට පුදමි. එය කරන්නේ කෙසේද?” සුදත්ත අසනු ඇසිණ.

“මෙහි පැමිණි, නොපැමිණි සතර දිසා වැසි සංඝයාට ජේතවනය පූජා කරමියි කියා පූජා කරන්න.”

බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්හ.

සිටුහු එසේ කී හ. ජේතවනාරාමය බුදු සසුනට පිදිණ. ඉන්පසු භික්ෂුන් කැටුව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයට වැඩියහ.

අධිමුත්ත ද ජේතවනාරාමයට ගියේ, පැවිදි බව ලැබීය. කමටහන් ලබා වහා විදසුන් වැඩීම ඇරඹූ අධිමුත්ත හිමියෝ සසර ගමන අවසන් කොට රහත් බවට පත්වූහ.

උන්වහන්සේ ඇතැම් භික්ෂූන් සසර ගමන නතර කිරීම වෙනුවට උදර පෝෂණයට මුල් තැන දෙන හැටි, සිත වැඩීම වෙනුවට කය වඩන හැටි දැක අවවාද කළහ.

“සසර ජය ගැනීමේ ප්‍රඥාවෙන් තොරව කය පෝෂණය කිරීමේ යෙදෙන ඔබට අවසානයේ සිදුවන්නේ කුමක්ද? දියකඩිතිවල දිය සිඳී යනවා මෙන් ඔබේ ජීවිතය ද සිඳී යනවා. එසේ ජීවිතය සිඳී යන විට යහපත් ශ්‍රමණ ජීවිතයක් පිළිබඳව ඔබට සිතිය නොහැකියි…”

අධිමුත්ත රහතන් වහන්සේ පසු කලෙක සිය උදානය වශයෙන් පළ කළේ ද මේ අදහස ය.

සිරුරු වැඩුම හා සිරුරු සුවය ගැන

පමණයි ඔබ සිතුවේ

දිවිය සිඳී යන මොහොතේ ඔබ හට

මහණකු ලද යුතු උතුම් සාධු ගුණ

කොයින් ලැබේවිද?

දෙනගම සිරිවර්ධන ✍️

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *