දහම් පහුර එතෙර වීමට පමණි

rashi
By rashi
2 Min Read

සිරිසම්බුදු සිරිතේ මෙන්ම බුදු සසුනේ ද වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු නවම් පුර පොහොය සිරිලක කොළඹ ගංගාරාම නවම් පෙරහැර සමග දෙස් – විදෙස් ආකර්ෂණයට ලක් විණ. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේලා අගසවු තනතුරු ලැබුවේ එම උතුම් පෝ දිනකය. පළමු මහා සංඝ සන්නිපාතය සිදුවූ දවසයි මේ. උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිල භික්ෂුන් ප්‍රධාන දහසක් භික්‍ෂු පිරිස ද සැරියුත් – මුගලන් මාහිමිවරුන් දෙදෙන ද යන එක් දහස් දෙසිය පනසක් මහ රහතන් වහන්සේ වේළුවනාරාමය බැබළ වූහ. නවම් පෝදා මහ සඟරුවනට ඕවාද ප්‍රාතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. බුදු සසුන ප්‍රථම බෝධියෙහි (විසිවසක්) පිවිතුරුව නොකළැල්ව පැවතුණි. ඕවාද ප්‍රාතිමෝක්ෂය වශයෙන් හඳුන්වනු ලබන ගාථා තුන මෙසේ සඳහන් කළ හැකිය.

‘. ඛන්ති පරමං තපොතිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහී පබ්බජිතො පරූපඝාති
සමණො හොති පරං විහෙඨයන්තො

  1. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියො දපනං ඒතං බුද්ධාන සාසනං
  2. අනූපවාදො අනූපඝාතො පාතමොක්ඛෙව සංවරො මත්තඤ්ඤුතාච භත්තස්මිං – පන්තංච සයනාසනං
    (ධම්ම පද – බුද්ධවග්ග)

  1. ඉවසීම් සංඛ්‍යාත ක්ෂාන්තිය ඇති තපස උතුම්ය. ශාන්ති ලක්‍ෂණ නිර්වාණය උත්තමයැයි සියලු බුදුවරයෝ වදාරම්. අනුන් දිවි නසන තැනැත්තේ පැවිදි නම් නොවෙයි. අනුන් පෙළන තැනැත්තේ මහණෙක් නම් නොවෙයි.

2. කායාදි දොරටු තුනෙන් සිදුවන්නාවූ ප්‍රාණඝාතාදි සියලු අකුශල කර්ම නොකිරීමද සියලු ලෞකික ලෝකෝත්තර කුශලයන් ඉපදීම ද උපද වන ලද කුශලයන් වැඩීම ද පඤ්ච නීවරණයන් කෙරෙන් සිත පිවිතුරු කිරීම ද යන මේ කරුණු සියලු බුදුවරයන්ගේ අනුශාසනයයි.

3. ජාත්‍යාදීන් පරහට ආක්‍රෝශාදි වශයෙන් වචනයෙන් උපවාදයක් නොකිරීමත්, පාණී ප්‍රහාරාදි වශයෙන් පරහට කයින් උප ඝාතනයක් නොකිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය මනාව රැකීමත්, ආහාරයෙහි මාත්‍රාඥතාවක් (ආජීව පාරිශුද්ධිය) ජන විචක්තවූ ප්‍රාන්ත සේනාසනයන්හි ඇලීමක් සමථ විපස්සනා භාවනාවන්හි නිතර යෙදීමත් සියලු බුදුවරයන්ගේ අනුශාසනයයි. බුදු දහමෙහි හරය අරමුණ හා පරමරුත නම් මිනිස් සිත සකස් කොට නිවන් මඟට යොමු කරවීමයි. එබැවින් බුදු දහම සියලු ලොවට එළියකි. පහනකි. රුවනකි. ඒකාන්තයෙන්ම ධර්මය ධර්මයෙහි හැසිරෙන්නන් ආරක්‍ෂා කරයි. සුවය ගෙන දෙයි. දුගතියකට නොපමුණුවයි. මේ ධර්මයේ ආනිශංස වන්නේය. බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කළ සේක.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *