අඩ්ඪකාසි තෙරණින් වහන්සේ

rashi
By rashi
8 Min Read

අශෝකා අබේවර්ධන

සුළඟේ පා වී ගසාගෙන යන බොල් වචන මාත්‍රයකට කළ හැක්කේ කුමක් දැ යි අපට සිතෙන වාර බොහෝ ඇතත් එය යථාර්ථ්යක් ම නො වේ. වචනයක් නිසා උපදනා බලවේග ශක්තීන්ට ද බොහෝ දුර ගමනක් යෑමට හැකියාව ලැබෙන බව පැහැදිලි කරවන බෞද්ධ සාහිත්‍යයේ එන කතා පුවත් එමට ය. අම්බපාලි තෙරණිය සේ ම අඩ්ඪකාසි තෙරණිය පිළිබඳ කතා පුවත් ඊට හොඳ නිදසුන් ය. වචී දුෂ්චරිතයෙහි දුර්විපාක විඳින විට වචී සුචරිතයෙහි අගය වටිනාකම මැනවින් වටහාගත හැකි ය.

අද අපි අඩ්ඪකාසි තෙරණිය ගැන කතා කරමු. එතුමින්වහන්සේ සිය සසර ගමන අවසන් කරන රහත් බව ලැබූ අත්භවයේ දීත්, පැවිදි වන්නට ප්‍රථම පෙරභවයක දී දුරදිග නො බලා සිදු කළ වචී දුශ්චරිතය හේතුවෙන් එහි බලපෑම් හේතුවෙන් තත්ත්වයෙන් පිරිහී අඩ්ඪකාසි නමින් ගණිකාවක වූවා ය.

මෝ තොමෝ කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩි විය පත් වූ පසුව භික්ෂුණීන් වෙත ගොස් දහම් අසා සැදැහැයට පත් ව පැවිදි ව සිටියා ය. එකල්හි එක්තරා සිව්පිළිසිඹියාපත් රහත් තෙරණියකට ගණිකාවාදයෙන් බැණ පහසුවෙන් නිම කරලන්නට අසීරු මහත් අකුසල් කඳක් සිය හිස මත තබාගත්තා ය. ඒ භවයෙන් චුත වූ ඇය එම අකුසල කර්මයෙන් ම නිරයේ උපන්නා ය.

පැවිදි ව උතුම් බඹසර සිල් ආරක්ෂා කළේ වී නමුදු එක් වචනයක වරදින් රැස් කොට ගත් මහා දුක්කන්දට ඈ රැස් කළ මහා පින් කඳ මැඩ මුවා ව යටපත් විය. ඒකාන්ත දුක් ඇති ඇසිල්ලක වත් සැපයක් නැති නරකයේ ඉපදී පැසවන්නට සිදු වූවේ ඒ නිසා ය. ඉන් මිදී පසුව මිනිස් ලොව උපදනා කල්හි ගණිකා පවුල්වල ම උපත ලද්දී ය.

ඇය ගණිකාවාදයෙන් වෙසඟනක යැ යි උපවාද කළේ සාමාන්‍ය පෘථග්ජන භික්ෂුණියට නො වේ. සිව් පිළිඹිසියාපත්, කෙලෙස් ධර්මයන් ගෙන් සපුරා නිදහස් වුණ සංසාර ගමන සුව සේ ම නවතා දැමූ මහරහත් තෙරණින් වහන්සේ නමකට ය. එතුමින් වහන්සේගේ නිර්මල වූ චිත්ත සන්තානයෙහි කෙළෙස් කිලිටි මාත්‍රයක් වත් නො වේ. අඩ්ඪකාසි තෙරණිය එදවස නුනුවණකම නිසා ම සිදු කොටගත්තේ බලවත් ආර්යෝපවාද අකුසල කර්මයකි.

පුහුදුන් වෙසඟනකට වත් ගණිකාවාදයෙන් නින්දා කිරීම කිසි ලෙසකටත් සුදුසු නො වේ. ඒ අප හැම අද මෙසේ නිවැරදි ව දිවි ගෙවුව ද අපගේ අතීත සංසාර කටු අකුල කෙබඳු දැ යි අප ඡායා මාත්‍රයක් වත් නො දන්නා නිසා ය. එලෙස ම අනාගත භවයෙහි ද මෙබඳු ඉරණමකින් නිශ්චිත ව ම අප නිදහස් ව නැති නිසාත් මේ තත්ත්වය ඉක්මවා නොමැති නිසාත් ය. අපගේ සංසාර ගමන ද මෙබඳු ඉරණමකට යටත් ව පවතී. එබැවින් අප හැම නිහතමානී ව කාරුණික ව අන් අයට නින්දා අපහාස නො කරන්නට නැණවත් විය යුත්තේ ය. කාරුණික විය යුත්තේ ය. උතුම් මිනිසත් බව ලද අපට මේ දිවියෙහි සතුටු වන්නට, අස්වැසිල්ලක් ලබන්නට උපකාරි වන බොහෝ කරුණු වෙයි. බුද්ධ සාසනයක් හිමි ව තිබීම එකකි. සම්මා දිට්ඨික ව ක්ෂණ සම්පත් ලැබීම ද තව එකකි.

පෙර කළ පව්කම්, රැස් කළ අකුසල් අමතක කොට නිවීම උදෙසා පිං කුසල් රැස් කරන්නට අවස්ථාව සැලසී තිබේ. මිනිසත් බවෙහි ඇති අසිරිමත් බව නම් එයයි. සිතූ සිතූ සේ පින් කළ හැකි නිවන උදෙසා පාරමී දම් පුරාලිය හැකි අසිරිමත් ක්ෂණ සම්පතකි ඒ.

මහරහත් උත්තමාවියකට ගණිකාවාදයෙන් නිග්‍රහ කොට නරකයේ ද නොයෙක් දුගතිවල ද දුක් විඳි අඩ්ඪකාසි පෙර කරන ලද මහා කුසල් සම්භාරයක් ද බඹසර සීල සම්පත්තියක් ද ඇති ව සසර ගමන් මඟ ආ නමුදු ඇය ලද අවසන් දේහධාරී ජීවිතය දී ද පැවිදි වන්නට පළමුව ගිහි ජීවිතයේ දී ගණිකාවක් ම වූවා ය. ඇය උපන්නේ කාසි රටෙහි මහා ධන සම්පත් ඇති සිටු කුලයක ය. දෙවියන් අතර සිටි අප්සරාවක මෙන් රූ සපුවෙන් අනූන ය. කුසල් අකුසල් දෙක ම බලපෑ හැටි ඉන් ප්‍රකට කෙරේ.

කාසීන්ගේ ජනපදවලින් නිපදවෙන අය බදු යම් පමණක් වී ද, මැයගේ අය කිරීම ද එපමණ ය. එය දහසක් පමණ ය. එනම් කසී රටෙන් රජුට ගෙවූ අය බදුවලට සමාන විය. බොහෝ විට මිනිසුන්ට දහසක් දීමට නොහැකි වූ හෙයින් අඩක් මුදල් ගෙවා දවසෙන් භාගයක් ඇය සමග ගත කොට යති. ඕතොමෝ කාසිවලින් අඩක් අය කළ බැවින් අඩ්ඪකාසි යන නම් ලද්දී ය. පෙර භවයන්හි පූර්ණය කරන ලද පාරමිතා ශක්තීන් අසිරිමත් ලෙස මතු ව එන්නේ මේ ඇයගේ පින්වත් අවසන් උපත නිසාවෙනි. පෙර කරන ලද මහා කුසල් හේතුවෙන් ඈ පැවිදි වන්නට සිත් පහළ කළා ය. පැවිදි බව ලද ඕතොමෝ බුදුරදුන් වෙත ගොස් උපසම්පදාව ලබනු කැමැති වූවා ය. අඩ්ඪකාසි තෙරණිය පැවිදි ව සිටි නමුත් තවමත් ස්ත්‍රී ධූර්තයන් සිත් තුළ ඇඳී තිබෙන්නේ ඇය වෙසඟනක් හැටියට ම ය.

තෙරණියන් සැවැත් නුවරට බුදුන් දැකීමට මඟට පිළිපන් බව ධුර්තයන්ට අසන්නට ලැබිණ. ඉදින් ඔවුහු තෙරණිය එන පෙර මඟ රැක සිටිය හ. දූතයන් මඟ රැක සිටින බව දැනගන්නට ලැබුණු අඩ්ඪකාසි තෙරණිය බුදුරදුන් වෙත පණිවිඩයක් යවන්නී “‍මම ද උපසම්පදාවට කැමැත්තෙමි එහි ලා කෙසේ පිළිපදී දැ?” යි විමසුවා ය. ඉක්බිති මහා කාරුණිකයාණන් වහන්සේ මේ ප්‍රස්තුතයෙහි දැහැමි කතාවක් කර භික්ෂූන් ඇමතූ හ. “‍මහණෙනි, දුතයෙකු ලවා වුව ද උපසම්පදාව දීම අනු දනිමි” යි‍ වදාළ හ. අපගේ බුදු සසුනේ දූතයෙකු ලවා උතුම් උපසම්පදාව ලද්දී අඩ්ඪකාසි තෙරණිය ම පමණක් බව දේශනාවේ සඳහන් ය. මෙසේ දුතේන උපසම්පදාව ලද ඕතොමෝ ප්‍රධන් වීර්යයෙන් විදසුන් වඩන්නී නොබෝ කලකින් ම සිව්පිළිසිඹියා සහිත රහත් බව ලැබුවා ය. සියලු‍ කර්මයන් නිම විය. පින් පව් දෙක ම එසේ නිමා විය. ගණිකාවාදයේ කර්මයෙන් පමණක් නො ව සංසාර සාගරයෙන් ද එතෙර වූ සේක. තෙරණිය දැන් ස්ත්‍රීධූර්තයන්ට බිය නැත. සැබැවින් ම කෙලෙස් නම් කෙබඳු දැ යි තෙරණියෝ නො දත් හ.

සියලු‍ කෙලෙස් ධර්මයන් සිඳ දැමූ තෙරණියෝ සිය සංසාර ගමන මැනවින් දුටු සේක. “සෘද්ධිවිධ ඥානය දිව්‍ය සෝතය චේතෝපරිය ඥානය විශේෂයෙන් ම ලබා මහා මුනිවරයාණන් වහන්සේ වෙත වෙසෙමි. පෙර විසූ අත් බැව් දනිමි. දිවැස ද පිරිසිදු කෙළෙමි. සියලු‍ ආශ්‍රවයන් දුරු කෙළෙමි. ඉදින් මට මතු භවයක් නැත. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන නුවණ බුදුන් වහන්සේ සමීපයෙහි මම ලබා ගතිමි. මාගේ සියලු‍ කෙලෙස් දැවිණි. බුදුන්ගේ අවවාදය ඉටු කළෙමි. රහත් බවට පැමිණියෙමි.” තෙරණියෝ උදාන ගී ගැයූ හ.

යාවකාසි ජනපදෝ සුඞ්කෝ
මේ තත්තකෝ අහු
තං කත්වා නෙගමෝ අග්ඝං
අඩ්ඪේනග්ඝං ඨපේසි මං

අථ නිබ්බින්දහං රූපේ
නිබ්බින්දඤ්ච විරජ්ජහං
මා පුනජාතිසංසාරං
සන්ධාවෙය්‍යං පුනප්පුනං
තිස්සෝ විජ්ජා සච්ඡිකතා
කතං බුද්ධස්ස සාසනං

“කසී ජනපදයෙන් ලැබුණු අය බදු යම් පමණක් වී ද මට ගෙවූ මිල ද එපමණ ය. පසුව නියම්ගම්වැසියෝ ඒ මිලෙන් අඩක් මට ගෙවූ හ. ඉක්බිති මම රූපයේ කලකිරුණෙමි. මෙසේ නො ඇලීම නිසා භවයෙහි නැවත නැවත නො දුවමි. ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කළෙමි. බුදුන් වහන්සේගේ අවවාද උපදෙස් පිළිපදිමි” යන ගාථාව ප්‍රකාශ කළා ය.

රූපය නිසා ම ජීවත් වන්නියක වූ අඩ්ඪකාසි බුදු සසුනෙහි පැවිදි වූ පසුව රූපයේ කලකිරුණා ය. රූපය මෙසේ අනිත්‍ය ය, රූපය මෙසේ දුක ය, අනාත්ම ය, අසුභ ය ආදි වශයෙන් දකින්නී එහි ලා කලකිරුණා ය. විරාගයට පැමිණියා ය. විමුක්තියට පැමිණියා ය.

මහා කාරුණික නාථයන් වහන්සේ සරණ ගිය කිසිවෙකුත් සසර කතරෙහි අතරමං නො වේ. චිරරාත්‍රඥ තෙරණින් වහන්සේ වන මහා ප්‍රජාපති ගෝතමිය ද, යශෝධරා මහරහතන් තෙරණින් වහන්සේ ද, මතු නො ව කිසාගෝතමී, පටාචාරා, කුණ්ඩලකේසි සේ ම පුණ්ණාදාසි රජ්ජුමාලා ද ඉසිදාසි, අම්බපාලි, අඩ්ඪකාසි වැන්නවුන් ද සංසාර සයුරින් තරණය කළේ බුදු පා සෙවනෙහි අමා දහම් සිසිල ලැබ ශික්ෂණයට පත් වූ නිසා ය.

එසේ හෙයින් ඔබගේ ද මගේ ද සංසාර දොස් පළිබෝධ කොතෙක් තිබුණත් ඒ සියල්ල පසෙක තබා අතහැර දමා අමා නිවන් සුවය අවබෝධ කරගන්නට අද අද සිටම වෙර වැඩිය යුත්තේ ය. ඒ සඳහා යම් පමණකට වත් උපකාරීත්වයක් ඔබට සේ ම මට ද ලැබේ වා යි පතමි. තෙරුවන් සරණින් සියලු දෙනා ම සංසාර නිස්සාරත්වය වටහා ගනිත් වා!

සැමට තෙරුවන් සරණයි!

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *